වඳ කළ පිරිමි මදුරුවන් දසලක්ෂයක් ගම්පහට...

 

ඩෙංගු මදුරුවන් මර්දනය සඳහා වන්ධ්‍යාකරණයට ලක් කරන ලද පිරිමි මදුරුවන් දස ලක්ෂයක් එකවර පරිසරයට මුදාහැරීමට කැලණි විශ්වවිද්‍යාලයේ අනුක වෛද්‍ය ඒකකය සූදානම් වෙයි.


ව්‍යාපෘතිය ඉදිරි මාසය තුළ ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති අතර මේ සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ප්‍රතිපාදන වෙන් කිරීමටද නියමිතය. මෙලෙස මෙම මදුරුවන් දසලක්ෂය මුදා හැරීමට ගම්පහ ප්‍රදේශයේ හෙක්ටයාර් තුන්සියයක භූමි ප්‍රදේශයක් ද තෝරා ගෙන ඇත.


කැලණිය විශ්වවිද්‍යාලයේ අනුක වෛද්‍ය විද්‍යා ඒකකයේ මහාචාර්ය මේනකා හපුගොඩ ප්‍රකාශ කළේ මීට පෙර ගම්පහ කිඩගම්මුල්ල ප්‍රදේශයේ ක්‍රියාත්මක කළ මෙහි නියමු ව්‍යාපෘතිය සාර්ථක වූ බවය.


වන්ද්‍යකරණයට ලක් කළ පිරිමි මදුරුවන් ලක්ෂය බැගින් මාස හයක පමණ කාලයක් මෙම ප්‍රදේශයට මුදා හැරීමට කටයුතු කළ අතර මේ වන විට එම පළාතෙහි ඩෙංගු මදුරුවන් ව්‍යාප්තියක් සිදු නොවන බව නිරීක්ෂණවලදී තහවුරු වී තිබේ.


මෙම ව්‍යාපෘතිය තවදුරටත් පවත්වාගෙන යාම සඳහා ජාත්‍යන්තර වශයෙන් ආධාර ලබා ගැනීමට අපේක්ෂා කරන බවද මහාචාර්යවරිය ප්‍රකාශ කළාය.

Post a Comment

0 Comments