පසුගිය කාලය පුරාවට මෙරට විවිධ ස්ථානවල සිදු වූ භූ චලන සම්බන්ධ දත්ත ලබාගෙන භූ කම්පන අවදානම් තත්ත්වයන් දැක්වෙන සිතියමක් සැකසීමට භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය කටයුතු යොදා ඇත.
භූ චලනය සිදු වූ ස්ථානය, එහි විශාලත්වය ආදී දත්ත රැස්කර මෙම සිතියමට යොදා ගැනේ.
භූ කම්පන අනුව ලංකාව කුමන මට්ටමක සිටීද යන්න පිළිබඳව මෙහි දී තහවුරු කර ගැනීමේ හැකියාව පවතින බව එම කාර්යාංශය කියයි. මෙවැනි සිතියමක් මේ දක්වා සකස් කර නොමැති බව එම කාර්යාංශයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ නිල්මිණි තල්දෙන පැවසුවාය.
භූ කම්පන සම්බන්ධව ඉකුත් 2012 වසරට පෙර දී පැවැතියේ අඩු අවදානමක් බවත්, ඊට හේතුව වූයේ භූ කම්පන තත්ත්වයන් නිතර රටේ සිදු නොවීම නිසා බවත් පසුගිය 2004 වසරින් පසුව අවධානය යොමු කර භූ කම්පන තත්ත්වයන් පිළිබඳව දත්ත රැස්කර ඒවා අධීක්ෂණය කෙරෙන බවද ඇය කීවාය.
භූ කම්පන දත්ත විශ්ලේෂණය කර මෙම සිතියම සැකසීමට කටයුතු කරන බවද ඇය සඳහන් කළාය. උදාහරණයක් ලෙස කොළඹ යම් භූ කම්පනයක් සිදු වුණොත් එම කම්පනය එම ප්‍රදේශයට දැනෙන ආකාරය සම්බන්ධව මෙම සිතියමෙන් දැනුවත් කිරීම සිදු කෙරේ.
මෙම සිතියමෙන් භූ කම්පනවලින් ඉදිරියේ දී ඇතිවිය හැකි අවදානම් තත්ත්වයන් අඩු කර ගැනීමට හැකියාව තිබේ. ඉන්දියාවේ මේ වන විට එවැනි සිතියමක් සකසා තිබෙන අතර හිමාලය ආශ්‍රිත කලාපය භූ කම්පන අවදානම වැඩි වශයෙන් පවතින බව ඉන් හෙළි වී තිබේ.
මේ සඳහා පල්ලේකැලේ, මහකනදරාව, හක්මන සහ බුද්ධංගල යන ප්‍රදේශවල ස්ථාපිත කර තිබෙන භූ කම්පන මානවලින් භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය දත්ත ලබා ගනී.
බස්නාහිර පළාත ආශ්‍රිතවද භූ කම්පන මානයක් සවි කිරීම සම්බන්ධව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ අවධානය යොමු වී තිබේ.

0 Comments