කිලිනොච්චිය මුලංකාවිල් ප්‍රදේශයේදී ජංගම පොලිස් සෝදිසියකදී අණනොතකා ධාවනය වූ කාර් රථයකට එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් එහි රියදුරු බරපතල තුවාල ලබා (14) යාපනය ශික්ෂණ රෝහලට ඇතුලත් කොට ඇතැයි මලංකාවිල් පොලීසිය පවසයි.
යාපනයේ සිට මරුන්ගන් දෙසට පිහිටි ඒ-32 ප්‍රධාන මාර්ගයේ අදාල කාර් රථය ධාවනය වී ඇති අවස්ථාවේදී මුලංකාවිල් ප්‍රදේශයේදී ජංගම පොලිස් සෝදිසියක යෙදුනු පොලිස් නිලධාරීන් විසින් කාර්රථයකට නවත්වන ලෙසට විධානය කොට ඇත.
එහිදී පොලිස් නිලධාරීන්ගේ අණ නොතකා කාර් රථය ධාවනය කිරීමට එහි රියදුරු පියවර ගැනීමත් සමග රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරියෙකු විසින් කාර්රථය නැවත්වීමට අවම බලය යොදා වෙඩිතැබීමක් සිදුකලද එම වෙඩි ප්‍රහාරය රියදුරුට වැදී ඇත.
වෙඩි ප්‍රහාරය එල්ල වුවද රියදුරු රථය නොනවත්වා මුරුන්ගන් දෙසට ධාවනය කොට පසුව මුරුන්ගන් ප්‍රාදේශීය රෝහලට ඇතුලුත් වීමෙන් පසුව මන්නාරම් රෝහලට මාරුකොට යවා ඇත. අනතුරුව වෙඩි ප්‍රහාරයෙන් බරපතල තත්වයේ සිටි තුවාලකරු වැඩිදුර ප්‍රතිකාර සඳහා යාපනය ශික්ෂණ රෝහලට මාරුකොට යැවීමටද පියවර ගෙන තිබුණි.
මෙහිදී වෙඩිප්‍රහාරයෙන් තුවාල ලබා ඇත්තේ යාපනය මාණිප්පායි ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි පුද්ගලයෙකු වන අතර කාර් රථය නොනවත්වා ධාවනය කිරීම සහ වෙඩිතැබීම සමබන්ධයෙන් මුලංකාවිල් සහ යාපනය පොලීසිය මගින් පරික්ෂණයන් අරඹා ඇත.


0 Comments