සිසුවිය ලැගුම්හලට ගෙන ආ සැකකරු අත්අඩංගුවට ගන්න කණ්ඩායම් 2ක්...

 

කළුතර ප්‍රදේශයේ ලැගුම්හලක තුන්වන මහලෙන් පහළට තල්ලු කර මරා දැමූ බව කියන 16 හැවිරිදි පාසල් සිසුවිය එම ලැගුම්හලට රැගෙන ආ බව කියන මෝටර් රථය කළුතර පලාතොට ප්‍රදේශයේ සඟවා තිබියදී සොයා ගත් බව කළුතර දකුණ පොලිසිය පවසයි.


අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති සිසුවිය සමග ලැගුම්හලට ගිය බව කියන තරුණයකු සහ තරුණියක එළඹෙන 15 දින දක්වා රිමාන්ඩ් භාරයට පත්කර ඇති අතර මෝටර් රථය සඟවාගෙන සිටි ප්‍රධාන සැකකරුගේ මිතුරකු බව කියන පුද්ගලයා ද පොලිසිය මගින් අත්අඩංගුවට ගත් බව පොලිස් නිලධාරියකු පැවැසීය.


සිසුවියගේ පශ්චාත් මරණ පරීක්ෂණය සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරී ඩි කේ වෙනුරජිත් විසින් කළුතර නාගොඩ මහ රෝහලේදී පවත්වා ශරීර කොටස් හා රුධිර සාම්පල් වගේ රස පරීක්ෂක වෙත යොමුකර විවෘත තීන්දුවක් ලබා දුන් බව පොලිසිය කියයි.


දැරියගේ ශරීරයේ ස්ථාන කිහිපයක දත් පහරවල් දක්නට ලැබී ඇතැයි ද සඳහන් වේ.


මියගිය සිසුවිය සමග ලැගුම් හලට ආ බව කියන විසිනව හැවිරිදි පුද්ගලයා විවාහකයකු බවත් ඔහු ප්‍රධාන පෙළේ මූල්‍ය සමාගමක ගෙවීමට අපහසු වාහන අත්පත් කරගන්නා බවත් පොලිස් විමර්ශනවලදී අනාවරණ වී ඇත.


මේ වන විට එම සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් දෙකක් යොදවා ඇතැයි සහකාර පොලිස් අධිකාරී දුමින්ද රාජපක්ෂ පැවසීය.


කළුතර දකුණ පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Post a Comment

0 Comments