ත්‍රීරෝද රථයක් දුම්රියක ගැටී දෙදෙනෙක් ජීවිතක්ෂයට...

 

වැලිගම පැලෑන පෝර ගබඩා දුම්රිය හරස් මාර්ගයේදී ත්‍රීරෝද රථයක් දුම්රියේ ගැටී තිබේ.


එම අනතුරෙන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වී තවත් හතරදෙනකු තුවාල ලබා මාතර මහ රෝහලට ඇතුළත් කර ඇතැයි වැලිගම පොලීසිය පවසයි.


අද (03) දහවල් මාතර සිට මහනුවර බලා ධාවනය වූ දුම්රිය වැලිගම දුම්රිය ස්ථානයට ආසන්නව ධාවනය වෙමින් තිබියදී වැලිගම පැලෑන පෝර ගබඩා දුම්රිය හරස් මාර්ගයේදී ත්‍රීරෝද රථයක් ගැටී තිබුණි. 


ත්‍රීරෝද රථයේ මව සමග එකම පවුලේ දරුවන් 03 දෙනෙකු සහ තවත් ඥාතියෙකු ගමන් කර ඇත.


යුද හමුදාවේ සේවය කර නිවාඩු ලබා පැමිණ සිටි 32 හැවිරිදි ඥාතියෙකු එම ත්‍රීරෝද රථය ධාවනය කර තිබෙන අතර ඔහු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්වී ඇති බව පැවසෙයි.


මෙම අනතුරෙන් තුවාල ලැබූ වයස අවුරුදු 09ක දරුවෙක් මාතර මහ රෝහලට ඇතුළත් කිරීමේදී ජීවිතක්ෂයට පත්වී ඇත.


අනෙක් දරුවන් දෙදෙනා, මව සහ තවත් ඥාතියෙකු ප්‍රතිකාර සඳහා මාතර මහ රෝහලට ඇතුළත් කර තිබේ.


මෙම පිරිස වැලිගම පැලෑන මෝදරවත්ත ප්‍රදේශයේ පදිංචි පිරිසක් බව ද ඉගෙනුම ලබන දරුවන් තිදෙනාව මව විසින් පාසලෙන් රැගෙන ත්‍රීරෝද රථයෙන් නිවසට යමින් සිටියදී අනතුර සිදුවී ඇති බවද වාර්තා වෙයි.


මෙම දුම්රිය හරස් මාර්ගය ඇතුළු බොහෝ දුම්රිය හරස් මාර්ගවල දෝෂ පවතින බවද ප්‍රදේශවාසීන් සඳහන් කරයි.


අනතුර සම්බන්ධයෙන් වැලිගම පොලීසිය පරීක්ෂණ සිදුකරයි.

Post a Comment

0 Comments