රාජ්‍ය ආයතන තුළ සිදුවන දූෂණ හා අක්‍රමිකතා මෙන්ම අඩුපාඩු සෙවීමට පිහිටුවා ඇති ආයතන නිහඬ කිරීමේ ආණ්ඩුවේ දුෂ්ට අරමුණට එරෙහිව සියළු දෙනා එක්ව කටයුතු කළ යුතු බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.
ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපතිවරයා ඉවත් කිරීම සඳහා රජය විසින් දරනු ලබන උත්සාහය පිළිබඳව දැනුම්වත් කිරීම සඳහා මෙම මාධ්‍ය හමුව කැඳවා තිබිණි. එහිදී පිවිතුරු හෙළ උරුමේ නායකයා වැඩිදුරටත් මෙසේ අදහස් දැක්වීය.
මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපතිවරයා ඉවත් කිරීම පිළිබඳ ඡන්ද විමසීමක් මැයි 24 දින පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිතයි. මේ වන විට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වශයෙන් අප හැමෝටම ලබා දී තිබෙනවා දැවැන්ත පොතක්. මෙහි අන්තර්ගත වනුයේ ජනාධිපතිවරයා මුදල් විෂය භාර අමාත්‍යවරයා විදිහට ජනක රත්නායක මහතාට ඉදිරිපත් කරන ලද චෝදනා පත්‍රය. එයට ජනක රත්නායක සභාපතිවරයා ලබා දුන්න පිළිතුරු තමයි මෙහි වැඩිපුර තියෙන්නේ.
මම හෙට දිනයේ ඡන්දය භාවිතා කිරීමට සිටින වගකිවයුතු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු විදිහට එම චෝදනා පත්‍රයත් ජනක රත්නායක මහතා විසින් ඉදිරිපත් කරන ලද වග උත්තර බැඳීමත් ඉතාමත්ම සංයමයකින් අධ්‍යයනය කළා. මේ චෝදනා පත්‍රය අපේ හිටපු අගවිනිසුරුතුමා කිව්වා වගේම මොන්ටිසෝරි ළමයෙකුගේ වැඩක්. සිහිකල්පනාව සිහිබුද්ධිය තියෙන කෙනෙකුට ඉදිරිපත් කළ නොහැකි චෝදනා පත්‍රයක්. මොකද මෙහි එක් එක් චෝදනාවට ජනක රත්නායක මහතා ලබාදී ඇති විස්තරාත්මක පිළිතුර බැලුවට පස්සේ මේ සෑම චෝදනාවක්ම පදනම් විරහිතයි කියන එක ඔප්පු වෙනවා. එක පැත්තකින් ජනක රත්නායක මහතාට නගන්න පදනමක් සහිත කිසිම චෝදනාවක් නැහැ. අනික් පැත්තෙන් රජයේ වැඩපිළිවෙළට ඔහු කරදරයක් නිසා කොහොමහරි ඉවත් කරගන්න ඕනෑ. ඒ අනුව චෝදනා නැති නිසා බොරු චෝදනා හදලා තමයි මේ චෝදනා පත්‍ර ගොනු කරලා තිබෙන්නේ.
පළමුවැනි චෝදනාවෙන් කියන්නේ මහජන උපයෝගිතා කොමිසමේ බහුතර සාමාජිකයින්ගේ එකඟතාවයකින් තොරව හිතුමතයට සභාපතිවරයා විදුලිබල මණ්ඩලයට එරෙහිව නඩු දැම්මා කියලා. සාක්ෂි ලිපි ලේඛන ඉදිරිපත් කරමින් ජනක රත්නායක මැතිතුමා කියනවා නෑ එහෙම නෙවෙයි සාමාජිකයින් පස් දෙනාගෙන් හතර දෙනෙක්ම සහභාගී වුණු 275 වෙනි අධ්‍යක්ෂක මණ්ඩල රැස්වීමේදී අධ්‍යක්ෂක මණ්ඩලය තීන්දුවක් ගත්තා කියලා. එම තීන්දුව ගත් අධ්‍යක්ෂක මණ්ඩල වාර්තාවත් එතුමා යවල තියෙනවා. පලවෙනි චෝදනාව එතැනින්ම ඉවරයි. මේ විදිහට චෝදනා 5ම කිසිම පදනමක් නැති චෝදනා බව එතුමා ලිඛිත සාක්ෂි සහිතව ඉදිරිපත් කර තිබෙනවා.
ඒ නිසා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපතිවරයා ඔහුට නගා ඇති චෝදනා පදනම් විරහිත බව ඉතාම නිරවුල්ව ඉදිරිපත් කර තිබෙන නිසා සිහි බුද්ධිය ඇති මන්ත්‍රීවරුන් විදියට අප තීරණය කරලා තිබෙනවා මේ යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරන්න. හෘද සාක්ෂියක් තිබෙන සංවේදී කිසිම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට මේ අසාධාරණ යෝජනාවට පක්ෂව කටයුතු කරන්න බැහැ.
මෙම චෝදනා බොරු නම් එවැනි චෝදනා ඉදිරිපත් කරලා සභාපතිවරයා ඉවත් කර ගැනීමට තිබෙන යටි අරමුණ කුමක්ද ? ඇත්ත හේතුව කුමක්ද? ඇත්ත හේතුව තමයි විදුලි බිලෙන් රජය කරනු ලබන වංචාවට එරෙහිව තමන් රජයේ තනතුරක් දරන නිලධාරියෙක් කියන එකත් පැත්තකින් තියලා ඊට එරෙහිව මේ රටේ හඬ නැගුවේ අපටත් වඩා මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා වන ජනක රත්නායක මැතිතුමා. එතුමා ජනතාව වෙනුවෙන් කතා කරලා අමාරුවේ වැටෙනවා නම් එතුමා වෙනුවෙන් පෙනී සිටීම යුක්තිය අගයන සෑම පුරවැසියෙකුගේම වැඩක්.
ලංකා විදුලි බල මණ්ඩල ඇස්තමේන්තු අනුව 2023 වසරට විදුලි ඒකක මිලියන 4,000 ජලයෙන් විදුලිය නිපදවා ගන්නට පුළුවන්. මේ රටේ විදුලි පාරිභෝගිකයන් ගණන මිලියන 6.8යි. එතකොට අර මිලියන 4,000 අපි 6.8න් බෙදුවහම උත්තරේ 49 යි. ඒ අනුව සෑම විදුලි පාරිභෝගිකයකුට ජල විදුලියෙන් නිපදවනු ලබන විදුලිය ඒකක 49ක් ලබා දෙන්න පුළුවන්. නමුත් විදුලි බල මණ්ඩලය මහජන උපයෝගිතා කොමිසමට ලබාදී ඇති තොරතුරු වලට අනුව ජල විදුලිය නිපදවීමට යන්නේ ඒකකයකට රුපියල් 3.05යි. සම්ප්‍රේෂණ වලදී සිදුවන නාස්තිය පරිපාලන වියදම් ඒ සියල්ල එකතු කරලා රුපියල් 3.50 ට මෙම අගය තියමු. එහෙම නම් පළමුවන ඒකක 49 ලංකාවේ සිටින සෑම පාරිභෝගිකයෙකුට ම රුපියල් 3. 50 ට දෙන්නට පුළුවන්. නමුත් විදුලි බල මණ්ඩලය යෝජනා කරපු විදියට පලවෙනි ඒකක 30 දෙන්නෙ රුපියල් 30 ගානේ. ඒකක 90 වෙන් පස්සේ මේක රුපියල් 50 වෙලා තවත් වැඩිවෙමින් යනවා. ඔය අතරේ සුපිරි මහල් නිවාස සාප්පු සංකීර්ණ රජයේ කාර්යාල සඳහා අය කරන්නේ පළමු ඒකක 180 දක්වාම රුපියල් 40 බැගින්. සරදියෙල්ගේ යුගයේ පටන් අපි අහල තිබ්බේ නම් තියෙන එකාගෙන් අරගෙන නැති එකාට දෙනවා කියලා. ඒ වගේම ආණ්ඩුවේ බදු පැනවීමේ අරමුණු තමයි ඇති අයගෙන් අරගෙන නැති අයට යවලා ආදායම නැවත බෙදා හැරීම. නමුත් මේ ආණ්ඩුව කටයුතු කරන්නේ වැඩියෙන් සල්ලි තියෙන මිනිහගේ විදුලි බිල දූප්පත් මිනිහට පටවලා. සමාජ සාධාරණය පැත්තෙන්, යුක්තිය පැත්තෙන් අසාධාරණ ලෙසයි විදුලි බිල වැඩි කරලා තියෙන්නේ. මෙන්න මේ ආණ්ඩුවේ නිරුවත වසාගෙන හිටපු පිරුවට එළියට ඇදලා දාලා රටට හෙළිකිරීම තමයි හෙට දිනේ ජනක රත්නායක මහතා දංගෙඩියට ගෙන යෑමට එතුමා කරපු වැරැද්ද වෙලා තියෙන්නෙ.
මහජන උපයෝගිතා කොමිසම හදලා තිබෙන්නේ විදුලිබල මණ්ඩලය තුළ විදුලි ක්ෂේත්‍රයේ ආයතන සේවා සැපයීම, සේවා ප්‍රමිතිය, මිල තීරණය කිරීම සාධාරණව කරනවද බලන්න. සොයා බලන්න. මහජන උපයෝගීතා කොමිසම විදුලිබල අමාත්‍යවරයාගේ ක්‍රියාකලාපය විවේචනය කිරීම හරහා සිදු කරලා තිබෙන්නේ තමන්ගේ රාජකාරිය. තමන්ට නීතියෙන් ලබාදී ඇති රාජකාරිය හරියට සිදු කිරීම දඬුවම් ලබාදෙන වරදක් නම් මේ රටේ තවදුරටත් නීතිය පවතින්න විදිහක් නැහැ. මේ යෝජනාව පාර්ලිමේන්තුවේ සම්මත කරගන්න ඉඩ දුන්නොත් ඊලග යෝජනාව එන්නේ පොලිස්පතිවරයාට එරෙහිව. ඇමතිවරුන් නැතිනම් ඇමැතිවරුන්ගේ ගෝලයන් නීතිවිරෝධී කටයුත්තකදී අත්අඩංගුවට ගත්තා කියලා පොලිස්පතිවරයා ඉවත් කරන්නත් යෝජනා ගෙන එන්න පුළුවන්. ඇමතිවරුන්ට එරෙහිව නඩු පැවරුවා කියලා නීතිපතිවරයා ඉවත් කිරීමේ යෝජනා ගෙන එන්න පුළුවන්. ඇමතිවරුන්ට එරෙහිව නඩු තීන්දු දුන්නා කියලා විනිසුරුවරුන් ද ඉවත් කිරීමේ යෝජනා ගෙන එන්න පුළුවන්.
මේ වැරදි පූර්වාදර්ශය අපි දල්ලෙන් කඩා දැමුවේ නැත්නම් මේ රටේ වැරදි සොයන්න තියෙන ආයතන සියල්ලම පුස්ස බින්දා තත්ත්වයට පත්වෙනවා. රාජ්‍ය ආයතන තුල වැරදි සෙවීමට ඇති ආයතන නිහඩ කිරීමට ආණ්ඩුව විසින් දරනු ලබන දුෂ්ට උත්සාහය පරාජය කිරීමට අප සමග එකතු වෙන්නයි පාර්ලිමේන්තුවේ සිටින හෘද සාක්ෂියක් ඇති තනතුරු ගැන හිතන්නේ නැති මන්ත්‍රීවරුන්ට අපි ආයාචනා කරනවා.

0 Comments