කොළඹ වරාය පරිශ්‍රයේ බහලුම් අංගණයේ මුදානොගත් බහලුම් තුන්සියයකට ආසන්න ප්‍රමාණයක් තිබෙන බව රේගුව අනාවරණය කරගෙන ඇත.
මෙම බොහෝ බහලුම් මීට මාස කීපයකට ඉහතදී ආනයනය කරන ලද ඒවා වන අතර, ඇතැම් බහලුම්වල ආනයනකරු ලෙස යොදා ඇත්තේ ව්‍යාජ ලිපිනයන්ය. ඇතැම් බහලුම් රේගුව ලියාපදිංචි නොමැති සමාගම් නමට එවා ඇති අතර, රේගුව කරන ලද පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ එහි නම් සඳහන් සමාගම් එවැනි ආකාරයෙන් බහලුම් ආනයනය කර නොමැති බවය.
මෙලෙස මුදානොගත් බහලුම් බොහෝමයක ආනයනය තහනම් කරන ලද භාණ්ඩ තිබෙන බව රේගුව කරන ලද වැටලීම් කීපයකදී අනාවරණය කරගෙන තිබේ.
වරාය අධිකාරිය යටතේ පාලනය වන බහලුම් අංගණයක සහ පුද්ගලික බහලුම් අංගණ දෙකක මෙම මුදා නොගත් බහලුම් තොගය ගොඩගසා ඇත.
මීට පෙර මෙවැනි අත්හැර දමන ලද බහාලුමක් පරීක්ෂා කිරීමේදී විදෙස් දුම්වැටි තොගයක් රේගු සමාජ ආරක්ෂණ අංශයේ වරාය පාලන ඒකකය විසින් අත්අඩංගුවට ගත්තේය. එමෙන්ම, නීතිවිරෝධීව ආනයනය කරන ලද රුපියල් කෝටි ගණනක් වටිනා දුම්කොළ තොගයක්ද තවත් බහාලුමක තිබී අත්අඩංගුවට ගැනුණි.
මෙලෙස අතහැර දමන ලද බහලුම්වල භාණ්ඩ හොර රහසේ පිටකෙරෙන අවස්ථාවන් පිළිබඳවද රේගුවට තොරතුරු ලැබී ඇත. එමෙන්ම වරායේ බහලුම්වල අංක වෙනස් කර මෙම තහනම් භාණ්ඩ සහිත භාණ්ඩ වරායෙන් පිටකරන අවස්ථාවන් තිබෙන බවට තොරතුරු අනාවරණය වී ඇත. මේ නිසා රේගු වරාය පාලන අංශය මෙම බහලුම් සම්බන්ධව බුද්ධි තොරතුරු ඔස්සේ විමර්ශන කටයුතු සිදුකරනු ලබයි.

0 Comments