ජුනි මාසයේ සිට ඉන්ධන විකිණීමේ මිල පරාසයක් ප්‍රකාශයට පත් කිරීමට විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය තීරණය කර ඇත.
ඊට හේතු වී ඇත්තේ මැයි මස අවසානයේ සිට චීන සයිනොපැක් හා ඇමරිකා ෂෙල් සමාගම් මෙරට ඉන්ධන බෙදා හැරීමට ප්‍රවිෂ්ඨ වීමයි.
එම සමාගම් වෙළෙඳපොළට ප්‍රවිෂ්ඨ වීමත් සමග මෙරට ඉන්ධන බෙදා හැරීම සමාගම් හතරක් යටතේ සිදු කෙරේ. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, ලංකා ඉන්දියන් තෙල් සමාගම, සියිනොෆැක් හා ෂෙල් එම සමාගම් වෙයි.
ඔස්ට්‍රේලියාවේ යුනයිටඩ් පෙට්‍රෝලියම් සමාගමද මෙරට ඉන්ධන බෙදා හැරීමට ප්‍රවිෂ්ඨ වන බව මුලින් ප්‍රකාශ කළද එම සමාගම මේ වන විට ඊට මැළිකමක් දක්වන බව විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.
සමාගම් හතරක් ඉන්ධන බෙදා හැරීමේදී සිදුවිය හැකි විෂමතා අවම කර ගැනීම සඳහා ඉන්ධන විකිණීමේ මිල පරාසයක් ප්‍රකාශයට පත් කරන ලෙස ෂෙල් සමාගම අමාත්‍යාංශයෙන් ඉල්ලා තිබණි. ඒ පිළිබඳ අවධානය යොමු කරමින් ඩීසල්, පෙට්‍රල්, භූමිතෙල් සහ අනෙකුත් ඉන්ධන සඳහා විකිණිය හැකි උපරිම හා අවම මිල ගණන් ඇතුළත් මිල පරාසයක් ප්‍රකාශයට පත් කිරීමට නියමිතය. ඒ සඳහා සම්පූර්ණ බලතල සහිත නියාමන ආයතනයක්ද පත් කෙරේ.
එහිදී මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ බලතලද ඇතුළත් කරමින් විදුලිබලය, බලශක්ති හා ජලය නිගමනය කළ හැකි ආකාරයෙන් එම ආයතනය පත් කෙරේ. එම ආයතනය විසින් මසකට වරක් මිල පරාසය ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.
සයිනොපැක් සහ ෂෙල් සමාගම් මැයි මස අග භාගයේදී මෙහෙයුම් ගිවිසුම අමාත්‍යාංශය සමග අත්සන් කිරීමට සැලසුම් කර තිබේ. ජුනි මස පළමු වැනිදා සිට එම සමාගම් සිය ඉන්ධන බෙදාහැරීමේ කටයුතු ආරම්භ කිරීමට නියමිතය. ඒ සඳහා සයිනොපැක් හා ෂෙල් සමාගම් සඳහා ඉන්ධන පිරවුම්හල් එකසිය පනහ බැගින් බෙදා දී ඇත. එම සමාගම්වලට තවත් ඉන්ධන පිරවුම්හල් පනහ බැගින් ඉදිකිරීමටද අවසර ලබා දී ඇත.
මෙම සමාගම්වලට බෙදා දෙන ඉන්ධන පිරවුම්හල් තුන්සියයේ හිමිකරුවන් පසුගිය බ්‍රහස්පතින්දා (04) කොළඹට කැඳවා අමාත්‍යාංශය විසින් දැනුවත් කිරීමක්ද සිදු කර තිබේ. මෙම සමාගම් හතර ඉන්ධන බෙදා හැරීමේ මෙහෙයුම් ආරම්භ කළ පසු ඉන්ධන මිල තවත් අඩු වන අතර කිව්.ආර්. ක්‍රමයද අහෝසි කරන බව විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි.
0 Comments