ගම්පොළ ප්‍රදේශයේ දී තරුණියක් ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
24 හැවිරිදි සැකකරු ගම්පොළ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 25 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බව පොලීසිය පැවසුවේය.
සැකකරු විසින් ලබාදුන් ප්‍රකාශයක් මත ඝාතනයට ලක්වු තරුණියගේ මළසිරුර ඊයේ (13) ගොඩගනු ලැබීය.
ඝාතනය කර වළ දමා තිබූ ගම්පොළ ඇල්පිටිය ප්‍රදේශයේ පදිංචි ෆාතිමා මුනවුවරා නැමැති 22 හැවිරිදි තරුණියගේ පශ්චාත් මරණ පරීක්ෂණය ද අද (14) මහනුවර ජාතික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී ශිවසුබ්‍රමණියම් මහතා විසින් සිදුකරනු ලැබීය.
ගෙල සිරකිරීමෙන් එම මරණය සිදුව ඇති බවත් ඇය දූෂණයට ලක්ව නොමැති බවත් වෛද්‍ය වාර්තා වේ සඳහන් වී ඇත.
නිවසේ සිට සේවා ස්ථානය වෙත යමින් සිටියදී මෙම තරුණිය දින 6ක් පුරා අතුරුදන්ව සිට ඇති අතර පසුව අනාවරණය වූයේ ඇගේ ගමේ ම පදිංචි 24 හැවිරිදි විවාහක එක්දරු පියකු විසින් තරුණියව ඝාතනය කර හොර රහසේ වළ දමා තිබූ බවය.
ඒ පිළිබඳව පරීක්ෂණ පැවැත්වූ ගම්පොළ පොලීසිය අනාවරණය කරගෙන තිබුණේ, ඇය මාර්ගයේ ගමන් කරමින් සිටියදී මොහු ඇයට අයුතු යෝජනාවක් කර කැළයට ඇදගෙන යාමට උත්සාහ කළ බවය.
තරුණිය එයට අකමැති වී ඒ බව පියාට පවසන බව පැවසීම හේතුවෙන් එම පුද්ගලයා ෆාතිමාගේ ගෙල මිරිකා ඇති බවත් එයින් ඇය බිම වැටුණු පසු ඇයගේ කුඩයෙන් බෙල්ලට ඇන ඇති බවත් හෙළි වී තිබේ.
තරුණිය ඝාතනය කර වළදැමූ බවට පාපොච්චාරණයක් ඝාතන සැකකරු විසින් සිදුකර තිබුණි.
මියගිය තරුණියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (14) සිදුකෙරුණු බව "අද දෙරණ" වාර්තාකරු පැවසුවේය.

0 Comments