කැනඩා අගමති ජස්ටින් ට්රූඩෝ මහතාට දෙමළ ජනතාව ගැන අමුතු අනුකම්පාවක් නැති නමුත් කැනඩා පාර්ලිමේන්තුවේ ආසන 28ක ජයග්‍රහණය තීරණය වනුයේ කැනඩාවේ පදිංචි දෙමළ ජනතාව ඡන්දය ප්‍රකාශකරන ආකාරය අනුව බැවින් එම ඡන්ද දිනාගැනීම සදහා ඔහු කිඹුල් කඳුළු හෙලන බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.
පිවිතුරු හෙළ උරුමයේ නායකයා මේ බව සදහන් කර සිටියේ එම පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි. එහිදී පිවිතරු හෙළ උරුමයේ නායකයා වැඩිදුරටත් මෙසේ අදහස් දැක්වීය.
ජූනි 21 කැනඩා ස්වදේශිකයන් සංහාර දිනය ලෙස නම් කළ යුතුයි
කැනඩාවේ අගමැති ජස්ටින් ට්රූඩෝ ලංකාවේ ඊනියා දෙමළ ජන සංහාර සමරු දිනය ලෙස මැයි 18 සැමරිය යුතු බවට කළ ප්‍රකාශයෙන් හැඟෙන්නේ ඔහු කැනඩාවේ මට්ටමෙන් ලංකාව මනින බවයි. අපි මැයි 18 සැමරුවේ උතුරේ අහිංසක දෙමළ ජනතාවගේ නිදහස් දිනයයි. පැහැරගෙන ගොස් මරා ගෙන මැරෙන මිනිස් බෝම්බ බවට පත් වුණු උතුරේ දරුවන් පාසල් යෑම ඇරඹූ දිනයයි. මරණ බයෙන් ජීවත් වුණු උතුරේ ජනතාව මරණ බයෙන් නිදහස් වුණු යුගයයි. කොටින්ගේ තුවක්කු ග්‍රහණයෙන් මිදී කතා කිරීමේ නිදහස ලැබූ යුගයයි.
කැනඩාවේ නම් ලංකාවට වඩා හාත්පසින්ම වෙනස් තත්වයක් තිබෙන්නේ. ඉංග්‍රිසි – ප්‍රංශ කතා කරන සුදු ජාතික රටක් බවට කැනඩාව පත් කලේ දේශීය ජනතාව සංහාරයට පත් කිරීමෙන්. කැනඩාව ඉතිහාසය පුරාම කලේ ස්වදේශිකයින්ට දුන් පොරොන්දු කඩ කිරීමයි. අත්සන් කළ ගිවිසුම් තීන්ත වේලෙන්නත් කලින් කඩ කිරීමයි. මම නොවේ මෙහෙම කියන්නේ. කාල් කුයීන් කියන කැනඩා ආදිවාසි නායකයා.
2021 දී බ්‍රිටිෂ් කොලොම්බියාවේ කම්ලූප්ස් ආදිවාසි නේවාසික පාසල් භූමියේ සමූහ මිනී වලක් හමු වුණා. ඒකෙ තිබුණේ පාසල් දරුවන් 215කගේ මළ සිරුරු. අවුරුදු තුනේ දරුවන්ගේ මළ සිරුරු පවා තිබුණා. මොනවාද මේ ආදිවාසි නේවාසික පාසල් කියන්නේ? ආදිවාසි දරුවන් තමන්ගේ සංස්කෘතියට උරාගෙන ආදිවාසින් කැනඩාවෙන් තුරන් කිරීම සඳහා කැනඩාවේ ආණ්ඩුව ආදිවාසින්ගේ දරුවන් ලක්ෂ ගණනින් බලහත්කාරයෙන් පැහැරගෙන මේ නේවාසික පාසල් වලට ගෙනාවා. ඒ අය යුරෝපා සංස්කෘතියට බලහත්කාරයෙන් හැඩ ගැස්සෙව්වා. ඊට විරෝධය පල කළ දරුවන් කුරිරු විධියට මරා දැම්මා. ලිංගික වද හිංසා කළා. මේ නේවාසික පාසල් 1870 දශකයේ ආරම්භ කරලා 1996 වන තුරු පවත්වා ගෙන ආවා.
ඒ නිසා නොවුණු දෙමළ ජන සංහාරයකට මැයි 18 දිනය වෙන් කරනවා වෙනුවට කැනඩා ආදිවාසි දිනය වන ජූනි 21 දා කැනඩා ආදිවාසි සංහාර දිනය ලෙස නම් කළ යුතු යැයි අපි යෝජනා කරනවා.

0 Comments