ඖෂධ ගන්න සල්ලි නැතුව සුව ඇමැති තෝන්තුවෙන්...

 

ඖෂධ ගැනීමට ප්‍රමාණවත් මුදල් නොදෙන්නේනම් මේ තනතුරු තවදුරටත් දැරීමේ බලාපොරොත්තුවක් නැතැයි සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල පාර්ලිමේන්තුවේදී ඊයේ (22 වැනිදා) පැවසීය.


ඇමැතිවරයා මේ බව සඳහන් කළේ ඖෂධ හිඟය සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.


ඖෂධ ආනයනය කිරීමේ ක්‍රියාවලියේ බරපතළ ගැටලු තිබෙන බව ද කී ඇමැතිවරයා මෙසේ ද සඳහන් කළේය.


ඖෂධ මිලදී ගැනීමට මුදල්වල ප්‍රශ්නයක් තියෙනවා. අපි මේ ගැන වැඩ බලන මුදල් ඇමැතිතුමා එක්ක සාකච්ඡා කරනවා. ඖෂධ මිලදී ගැනීමට මුදල් ගැනීමට හැකියාවක් නැත්නම් එය මේ සභාවට දැනුම් දෙනවා. මේ මුදල සොයාගන්න බැරිනම් තනතුරු දැරීමේ බලාපොරොත්තුවක් නැහැ. මොකද එහෙම කළොත් එය සමාජයට කරන, සෞඛ්‍ය සේවයට කරන විශාල අඩුපාඩුවක් වෙනවා. එහෙම අඩුපාඩුවක් වුණොත් ඒ වගකීම මට භාරගන්න බැහැ.


ඖෂධ ආනයනය කිරීමේ ක්‍රියාවලියට මාස 9ක් යනවා. අඩු කාලයකින් ආනයනය කිරීමට කැබිනට් අනුමැතියක් දුන්නා. ඇමිනෙස්ටි ඉන්ටර්නැෂනල් සහ තවත් කණ්ඩායමක් ඊට එරෙහිව උසාවියට ගිහිල්ලා තිබෙනවා ඒ විදියට අඩු කරන්න එපා කියලා. නමුත් අපට පනතින් ඉඩ දී තිබෙනවා. අධිකරණය ගැන විශාල ගරුත්වයක් තිබෙනවා. නමුත් අධිකරණය ගන්නා ඇතැම් තීන්දු නිසා අපහසුතාවට පත්වන අවස්ථා තිබෙනවා. ඒ ගැන කනගාටු වෙනවා.

Post a Comment

0 Comments