අකුරැස්ස නගරයේ නිල්වලා ගග අසල බුදුපිළිම වහන්සේ ඉදිරිපිට අලුතින් ආරම්භ කිරීමට යෝජිත සුරාසැලට එරෙහිව අකුරැස්ස හා අතුරලිය ශාසණාරක්ෂක බලමණ්ඩලය සංවිධානය කළ විරෝධතාවක් (18) අකුරැස්ස බස්නැවතුම්පොළ ඉදිරිපිටදී පැවැත්විණි.
මාතර දිස්ත්‍රික් ලේඛකාධිකාරී දර්ශනපති පරදුව ජිනරතන හිමියන් ප්‍රධාන අකුරැස්ස අතුරලිය ලේඛකාධිකාරී හිමිවරුන් ඇතුළු මහා සංඝරත්නය දහම්පාසල් දරුදැරියන් ආචාර්යමණ්ඩලය, ප්‍රදේශවාසීන් ආදී විශාල පිරිසක් මෙම නිහඩ විරෝධතාවයට එක්ව සිටියහ.
අකුරැස්ස යෝජිත බස්නැවතුම්පොළ අසලින් බැනර් කටවුට් පෝස්ටර් අතැතිව පෙරවරු 10.00ට ආරම්භ වූ විරෝධතාව සාමකාමී පාගමනින් බස්නැවතුම්පොළ ඉදිරිපිටට පැමිණ පිරිස පැයක් පමණ විරෝධතාවේ නියැලී සිටියහ.
පසුව නිල්වලාගග අසල බුදුමැදුර අසලට පැමිණ තිසරණ සහිත පන්සිල් සමාදන්ව අනතුරුව අකුරැස්සෙන් ලංකාවෙන් මත්උවදුර දුරුවේවායි පාර්ථනා කොට සියල්ලෝම විසිර ගියහ.
0 Comments