මේ රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ බරපතල කඩා වැටිමක් සිදුවෙමින් ඇති බවත් වසර 30ක් පැවැති ත්‍රස්තවාදය මුලින් උපුටා දැමූ රටක සෞඛ්‍ය ක්ෂේත්‍රය මේ වන විට ත්‍රස්තවාදයක් වී ඇති බවත් විපක්ෂ නායකවරයා පවසනවා.
බංකොලොත් රටේ, ජනතා මුදල් නාස්ති කරමින්, වංචා, අක්‍රමිකතා තුළින් ගුණාත්මකභාවයෙන් අඩු බාල ඖෂධ සහ වෛද්‍ය උපකරණ ගෙන්වීම මෙන්ම ඒවායේ සැබෑ තොරතුරු රටට සැගවීමත්, ඒවා පිළිබඳ සත්‍යය කතාකරන වෛද්‍ය ක්ෂේත්‍රයේ විවිධ වෘත්තිකයන් දඩයම් කිරීමත් රජයේ ක්‍රමවේදය වී ඇති බවට සජිත් ප්‍රේමදාස මහතා චෝදනා කළා.
රාජ්‍ය මර්දනය තුළින් නිදහස් සෞඛ්‍ය ප්‍රතිපත්තිය විනාශ කරන වැඩපිළිවෙලකට රජය එළැඹ ඇති බවත්, එය ත්‍රස්තවාදී ක්‍රියාවකට සමාන බවත්, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේ, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තිකයින් පිරිසක් පාර්ලිමේන්තු සංකීරණයේදී හමුවෙමින්.
මෙම සාකච්ජාවට රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය, රජයේ ඖෂධවේදීන්ගේ සංගමය, සිවිල් අයිතිවාසිකම් සදහා වූ වෛද්‍ය වෘත්තිකයන්ගේ සංගමය, සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ ආයතනය නියෝජනය කරමින් නියෝජිතයින් පිරිසක් එක්ව සිටියා.
ඖෂධ ගෙන්වීමේ දී ප්‍රසම්පාදන ක්‍රමවේදය අනුගමනය කළ යුතු බවට පනතේ සඳහන්ව තිබුණත් එය නොසලකා විශේෂ අවස්ථා බව පවසමින් පනතේ 109 වගන්තිය උපයෝගී කර ගනිමින්, ජනතාව බිල්ලට තබමින් වෛද්‍ය ක්ෂේත්‍රය ව්‍යාපාරයක් කරගෙන ඇති බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස බාල නිර්වින්ධන ඖෂධ ලබාදීම නිසා පසුගිය සමයේ දරුවන්ගේ සහ වැඩිහිටියන්ගේ ජීවිත රැසක් රටට අහිමි වූ බවත් විපක්ෂ නායකවරයා මෙහිදී සිහිපත් කළා.
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තිකයන් මේ වනවිට රට හැර යාම දැඩි අර්බුදයකට පාර කැපීමක් බවත්, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ විශේඥයින් 23 දෙනෙකු ඉන් ඉවත් කර තොරතුරු සඟවා ඇති බවත්, ඇතැම් වෛද්‍යවරුන් තොරතුරු ඉදිරිපත් කරන විට ඔවුන් වැඩ තහනමට ලක් කරමින් සිදුකරණ මර්ධනයන්ට තමන් ඇතුළු විපක්ෂය කොන්දේසි විරහිතව පෙනී සිටින බවත්, විපක්ෂ නායකවරයා මෙහිදී අවධාරණය කළා.
0 Comments