දිවයිනේ සුපතළ කෝටිපති මැණික් ව්‍යාපාරිකයෙකු මෙහෙය වූ නීති විරෝධී ගව ඝාතකාගාරයක් වැටලූ වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය එදින මරා දැමීම සඳහා විවිධ ප්‍රදේශවලින් පැහැරගෙන පැමිණි මීගවයන් 13 දෙනෙකුගේ ජීවිත බේරා ගැනීමට සමත් වී ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කළ එම ඒකකය ගව ඝාතකාගාරය මෙහෙය වූ කෝටිපති මැණික් ව්‍යාපාරිකයා ද ගව ඝාතකාගාරය තුළදී අත්අඩංගුවට ගෙන තිබේ.
ඔහු අත්අඩංගුවට ගත් මොහොතේ ඉන් බේරීම සඳහා එම ව්‍යාපාරිකයා පොලිස් නිලධාරීන්ට ලක්ෂ එකහමාරක් ඒ මොහොතේ ම දීමට සූදානම් වී ඇතත් නිලධාරීන් එය ප්‍රතික්ෂේප කර ඔහු රැගෙන යාමට සූදානම් වෙද්දී රුපියල් ලක්ෂ තුනක් දීමට ද ඔහු සූදානම් විය තිබේ.
කෙසේ වෙතත් එය ප්‍රතික්ෂේප කිරීමෙන් පසු වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහ මහතාට හිටපු ජනාධිපතිවරයෙකුගේ ලේකම්වරයෙකු සහ නැගෙනහිර පළාතේ දිස්ත්‍රික් සංවිධායකවරයෙකු දිගින් දිගට ම බලපෑම් කරමින් කෝටිපති මැණික් ව්‍යාපාරිකයා මුදා ගැනීමට දැඩි උත්සහයක යෙදී තිබේ.
“මුදලාලිව අත් හරින්න අනෙක් කට්ටිය ගෙනි යන්න. ඔයාගේ ලොකු මහත්තුරු සේර ම මාව දන්නවා.” එලෙස කියමින් දිගින් දිගට ම බලපෑම් කළත් එම ඒකකයේ ස්ථානාධිපතිවරයා සහ අධ්‍යක්ෂ උදයකුමාර යන නිලධාරීන් එම බලපෑම්වලට යටත් නොවී මේ බව පොලිස්පතිවරයා ද ඒ මොහොතේ ම දැනුවත් කර ඇත.
මෙම ගව ඝාතකාගාරය කලක් තිස්සේ විවිධ පොලිස් නිලධාරීන්ට තුටු පඬුරු දෙමින් වැලිපැන්න පොලිස් ස්ථානයේ සිට මීටර් 800ක් දුරින් දීර්ඝ කාලයක් තිස්සේ ප්‍රසිද්ධව පවත්වාගෙන ගොස් ඇතැයි සැක කෙරේ.
මෙම ගව ඝාතකාගාරයට මීහරක් ගෙන එනු ලබන්නේ අධිවේගී මාර්ගය ඔස්සේ ය. දීර්ඝ කාලයක් අධිවේගී මාර්ගයේ මීගවයන් ප්‍රවාහනය කර ඇතත් එම මාර්ගවලදී මීහරකුත් පටවාගෙන ගව ඝාතකාගාරයට පැමිණෙන ලොරි එම මාර්ගයේ පොලිස් නිලධාරීන්ගේ පරීක්ෂාවට ලක් වී නැති බව පුදුමයක් බව ත් වැටලීමට එක් වූ නිලධාරීහු පවසති. අධිවේගී මාර්ගවල රාජකාරි කරන ඇතැම් පොලිස් නිලධාරීන්ට අල්ලස් ලබාදීමෙන් පසු මෙම වාහන ඔවුන්ගේ දැඩි සෝදිසියට ලක් නොවන බව ද නිලධාරීහු සැක කරති.
වැලිපැන්න පොලිසියට මීටර් 800ක දුරින් මෙම ගව ඝාතකාගාරය ප්‍රසිද්ධයේ පවත්වාගෙන ගිය ද වැලිපැන්න පොලිසිය මෙම ඝාතකාගාරය වැටලීම උත්සුක නොවීමත් නිලධාරීන්ගේ පුදුමයට හේතු වී තිබේ.
තණමල්විල හුංගම, ලුණුගම්වෙහෙර ප්‍රදේශවලින් සොරාගන්නා මීගවයන් අධිවේගී මාර්ගය ඔස්සේ වැලිපැන්න නීති විරෝධී ගව ඝාතකාගාරයට රැගෙන විත් මරා මස් කර හරක් මස් ලෙස බේරුවල, අලුත්ගම සහ කළුතර ප්‍රදේශවල මස්කඩවලට අලෙවි කිරීමේ ජාවාරම මෙම මැණික් ව්‍යාපාරිකයා විසින් ගෝලබාලයන් යොදවා කලක් තිස්සේ කරගෙන ගොස් ඇතත් වසමේ පොලිසිය, පශු වෛද්‍ය නිලධාරීන් මෙන් ම ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට පවා නොපෙනීම ප්‍රදේශවාසීන්ට මෙන් ම වැටලීම් කළ නිලධාරීන්ට ද පුදුමයට කරුණක් වී ඇත.
එක් දිනක මීගවයන් 10කට ආසන්න ගණනක් පැය දෙක තුනක් ඇතුළත මෙහිදී ඝාතනය වන අතර ඉකුත් 26 වන දා ඝාතනය කිරීම සඳහා දකුණේ විවිධ ප්‍රදේශවලින් පැහැරගෙන පැමිණ මීහරකුන් 13 දෙනෙකු නිලධාරීන්ගේ මැදිහත්වීම නිසා බේරා ගැනීමට හැකි වී තිබේ.
සිද්ධියට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු සහ මීගවයන් ඝාතනය කිරීමට උපයෝගි කර ගන්නා මන්නා පිහි ඇතුළු උපකරණ රැසක් ද නිලධාරීන් සිය භාරයට ගෙන ඇත.
කෝටිපති මැණික් ව්‍යාපාරිකයා විසින් මෙහෙය වනු ලබන මෙම ගව ඝාතකාගාරයට මීහරකුන් සපයන්නේ හක්මන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව එම ඒකකය කියයි.
කිසිදු පුද්ගලයෙකුගේ බලපෑමකට යටත් නොවී නීතිය හරි හැටි ක්‍රියාත්මක කිරීම ගැන පොලිස්පතිවරයා වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ බලධාරීන්ට ද සිය ප්‍රශංසාව පුද කර ඇතැයි ද කියති.
බේරාගත් මීගවයන් අතර දෙපා කඩා ලොරි රථවලට පටවා ගත් මීහරකුන් තිදෙනෙකු ද වන බව විමර්ශන නිලධාරීහු පවසති.

0 Comments