නැගී එන කණ්ඩායම් ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ බංග්ලාදේශ ඒ කණ්ඩායම සමග කොළඹ එස් එස් සී පිටියේ අද පැවති තරගය ලකුණු 48කින් ජයගැනීමට ශ්‍රී ලංකා ඒ කණ්ඩායම සමත්විය.
තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 349ක් රැස්කළේය.
එහිදී අගනා පිතිහරඹයක නියැලුණු ශ්‍රී ලංකා A කණ්ඩායමේ ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 133ක් රැස්කරගැනීමට සමත්විය.
පන්දු 124කදී ගොඩනැගූ ඔහුගේ ඉනිමට හයේ පහර 3ක් සහ හතරේ පහර 13ක් ඇතුළත්විය.
හයේ පහර 3ක් සහ හතරේ පහර 4ක් සමග පන්දු 55කදී මිනොද් භානුක ලකුණු 57ක් රැස්කළේය.
ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පසිඳු සූරියබණ්ඩාර ලකුණු 43ක් රැස්කළේය.
වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ ශ්‍රී ලංකා A කණ්ඩායමේ නායක දුනිත් වෙල්ලාලගේ පන්දු 19කදී හයේ පහරක් සහ හතරේ පහර 3ක් සමග ලකුණු 31ක් රැස්කරගැනීමට සමත්විය.
බංග්ලාදේශ ඒ කණ්ඩායම වෙනුවෙන් Soumya Sarkar සහ Ripon Mondol කඩුලු 3 බැගින් දවාගත්තේය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීම සඳහා පිටියට පිවිසි බංග්ලාදේශ ඒ කණ්ඩායම වෙනුවෙන් Saif Hassan ලකුණු 53 රැස්කළ අතර Mohammad Naim ලකුණු 51ක් සහ Soumya Sarkar ලකුණු 42ක් රැස්කර ගැනීමට සමත්විය.
අවසානයේ බංග්ලාදේශ ඒ කණ්ඩායම වෙනුවෙන් බලාපොරොත්තු සහගත ඉනිමක් ගොඩනගමින් සිටි Mahedi Hasan ශ්‍රී ලංකා ඒ කණ්ඩායමේ නායක දුනිත් වෙල්ලාලගේ යැවූ පන්දුවකට මිනෝද් භානුක වෙත උඩපන්දුවක් ලබාදෙමින් දැවී ගියේය.
ඒ අනුව බංග්ලාදේශ ඒ කණ්ඩායම පන්දුවාර 48යි පන්දු 3කදී සියලුදෙනා දැවී රැස්කරගත්තේ ලකුණු 301ක් පමණි.
0 Comments