රනිල් සැරසෙන්නේ ෆැසිස්ට් පන්නයේ භාවිතාවකටද?ජනතාවට තිත්ත බෙහෙත්!



              පවතින ආර්ථික  අර්බූදයෙන් ගොඩඒමට නම් රජය විසින් ආධිපත්‍යය දරන ආර්ථිකයක් පවත්වාගෙනයාම මගින් එය කළ නොහැක්කක් බවත්,රජයේ නියාමනය ඉවත්කිරීම හා පෞද්ගලිකකරණය එකම විකල්පය බවත්,කොළඹ තේ වෙළඳුන්ගේ සංගමයේ වාර්ෂික සම්මේලනය අමතමින් රනිල් වික්‍රමසිංහ අද ප්‍රකාශ කළේය.

              රනිල්ගේ මෙම ප්‍රකාශය IMF සමග එකඟවී ඇති වට්ටෝරුවේ තවත් එක් ප්‍රතිකර්මයක් බවත්, තිත්ත බෙහෙත් බීමට සුදානම් වන ලෙසට මීට ඉහතදී කළ අනතුරු හැඟවීම සමඟ මෙය සමපාත වන බවත්,වාමාංශික නායකයකු L news වෙත ප්‍රකාශ කළේය.

  IMF වට්ටෝරුව අනුව සකලවිධ ආර්ථික ව්‍යාධි වලට හේතුව රජය විශාලවීම වීම බවද,මේ නිසා රජය කුඩාකර සුබසාධනයෙන් රජය ඉවත්විය යුතු බවද,සහනාධාර දීම නතර කළ යුතු බවද,රාජ්‍ය ව්‍යවසායන් ලාභ ලබන ආයතන සමග මුදලාලිලාට විකිණිය යුතු බවද සඳහන් වේ.

           මෙම තිත්ත කසාය ක්‍රියාවට නගන විට එහි බර 70%ක් වූ පොදු මහජනතාව පිට පැටවෙන බවත්,මහා පරිමාණ ව්‍යාපාරික පංතියට තිත්ත බෙහෙත් පෙවීමට රනිල් කටයුතු නොකරන බවත් වාමාංශික නායකයා වැඩිදුරටත් පැවසීය.

      ආණ්ඩුවේ මෙම ක්‍රියාමාර්ගයන්ට එරෙහිව කෝපාවිෂ්ට වන මහජනයා ආණ්ඩුවට විරුද්ධව සටන් කරන බවත් ,ආණ්ඩුවද දැඩි මර්ධනයක් දියත් කිරීමට දැනටමත් තහනම් කළාප නම් කරගෙන සූදානම් වන බවක් පෙනෙන්නට ඇති බවත්,ආණ්ඩුවෙන් දියත්වෙන මෙම මර්ධනකාරී ප්‍රජාතන්ත්‍ර විරෝධී චර්යාව ගැන  මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින ඊනියා ලිබරල්වාදීන්ට වගේ වගක් නොමැති බවද එම වාමාංශික නායකයා වැඩිදුරටත් පැවසීය...

Post a Comment

0 Comments