උඩවලව ජලාශය සිඳී යාමෙන් අසරණ වූ ගොවි පවුල් 45,000කට පමණ සමනලවැව ජලාශය මගින් ජලය ලබා දීමේ කැබිනට් තීරණය ගැනීමට ආණ්ඩුව දින 15ක කාලයක් ගත් බවත් “ගොවියාට ජලය දුන් නිසයි, දැන් විදුලිය කපන්නේ” යන මතය ජනතාව තුළ කාවැද්දවීමට රඟදැක්වූ එම “මෝඩ නාටකය” හේතුවෙන් අවසානයේ දී ඉහත කී ගොවිබිම්වල අස්වැන්න සියයට 40 – 50ත් අතර ප්‍රමාණයකින් විනාශ වී ඇති බවත් ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක, ප්‍රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා අනාවරණය කළේය.
එසේම ඒ මහතා අවධාරණය කරන්නේ ලෝක පරිමාණයේ ආහාර අර්බුදයක් හමුවේ මෙන්ම, ගෙවී ගිය වසර හතර තුළ මෙරට කෘෂිකර්මාන්තයේ ද බිඳවැටීම් ගණනාවක් සිදුව ඇති මොහොතක, මෙවැනි මෝඩ නාටකයක් රඟ දැක්වූ සියලු පිරිස් වහාම නීතිය ඉදිරියට ගෙන ආ යුතු බව ය.
පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකදී එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශකවරයා මෙසේ අවධාරණය කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ මොහොමඩ් මුසම්මිල් මහතා මෙසේද සඳහන් කළේය.
ආහාර හිඟයක පෙරනිමිති
“රුසියාව සහ යුක්රේනය අතර වර්ධනය වෙමින් පවත්නා යුද ගැටුම, ලෝක ආර්ථික අර්බුදයකට පමණක් නොවෙයි, ආහාර අර්බුදයකට ද පාර කපමින් තිබෙනවා. ඉන්දියාව ජුනි මාසයේ සිට තීරණය කර තිබෙනවා, සහල් සහ ධාන්‍ය වර්ග අපනයනය නොකිරීමට. රුසියාව ද තිරිඟු පිටි අපනයනය නවතා තිබෙනවා. රුසියාව මෙන්ම ලෝකයේ විශාලතම තිරිඟු පිටි නිෂ්පාදකයකු වන යුක්රේනය ද යුද ගැටුම හේතුවෙන් තම අස්වනු ලෝක වෙළදපොළට නිකුත් කිරීමට නොහැකි තත්ත්වයට පත්ව තිබෙනවා. මේ සියල්ල ලෝක පරිමාණ ආහාර හිඟයක පෙරනිමිති බව කිව යුතුය.
ජලය නිකුත් නොකිරීමේ මෝඩ තීරණය ගත්තේ කවුද?
අපේ රටේ ද පසුගිය කාලය පුරාම සිදු වූයේ ආහාර නිෂ්පාදනයේ බිඳවැටීම් බව අමුතුවෙන් කිව යුතු නැහැ. කාබනික පොහොර හඳුන්වාදීමේ අක්‍රමවත් වැඩපිළිවෙළ, කොවිඩි අර්බුදය, ආර්ථික අර්බුදය සමග පැමිණි ඉන්ධන හිගය, මේ වන විට පවතින නියඟය ඊට හේතු ලෙස දැක්විය හැකියි. ඉහත ලෝක තත්ත්වය සහ පෙර කී හේතු නිසා ඇති වූ අපේ ආහාර නිෂ්පාදනයේ අඩු වීම ආදී කරුණු ගැන නිසි අවධානයකින් යුතු වැඩපිළිවෙළක් සහිතව නොවෙයි මේ ආණ්ඩුව ඉදිරියට යන්නේ. ඒ බව සමනල වැව සහ උඩවලව ජලාශ හා බැඳුණු ගොවිතැනට ජලය ලබාදීමේ කටයුත්තේදී ඉතා පැහැදිලිව පෙනුණා. මේ ආණ්ඩුවට සමනල වැව ජලාශයෙන්, උඩවලව ජලාශයට ජලය ලබා දීමේ කැබිනට් තීරණය ගන්න දින 15ක් ගියා. ඒ දින 15 තුළ අසරණ ගොවි ජනතාවගේ කුඹුරු ජල හිඟයෙන් විනාශ වෙලා ගියා. අපට වාර්තා වන ආකාරයට ලැබීමට නියමිතව තිබූ අස්වැන්නෙන් සියයට හතළිහක්, පනහක් පමණ විනාශයට ලක්ව තිබෙනවා. විදුලිය කප්පාදු කිරීමට සිදු වන නිසා සමනලවැව ජලාශයෙන් උඩවලව ජලාශය වෙත ජලය නිකුත් නොකිරීමේ මෝඩ තීරණය ගත්තේ කවුද? මේ තීරණයෙන් මුළු රටම ඉදිරියේදී දුෂ්කරතාවලට ලක් වේවි.
මේ ක්‍රියාවලිය දෙස විමසිල්ලෙන් බලද්දී හිතෙනවා, ‘මේක නාටකයක් නේද?’ කියා. ඉදිරියේදී විදුලි කප්පාදුවක් සඳහා යන විට, ‘ගොවිතැනට ජලය දුන් නිසා අපට විදුලිය කපන්න වුණා’ කියන කතාව හදාගන්න තමයි මේ නාටකය රඟ දක්වා ඇත්තේ. මෙවැනි නාටකවලින් විනාශයක් මිස සමාජයට යහපත් දෙයක් ලැබෙන්නේ නැහැ. මේ පහත් පෙළේ නාටකය රඟ දැක්වීමට දායකත්වය දීපු මහ මොළකරුවන් ඇතුළු සියලු නිලධාරීන්ට එරෙහිව නීතිමය පියවර ගත යුතුයි, කියා අපි අවධාරණය කරනවා.
“ටිල්වින්ගේ පස්ස හැරවීම”
ජාතික ජන බලවේගය නියෝජනය කරන මහාචාර්යතුමියක පවසා තිබෙනවා, ‘එක වසරේ සිට දරුවන්ට ඉංග්‍රීසි භාෂාවෙන් අධ්‍යාපනය ලබා දිය යුතුයි’ කියා. අපි කවුරුත් දන්නවා යුනිසෙෆ් ආයතනය තම වාර්තාවක් මගින් කියනවා, ‘මව් භාෂාවෙන් ප්‍රාථමික අධ්‍යාපනය ලබන දරුවන්ගේ චින්තන හැකියාව, භාෂා හැකියාව වර්ධනය වෙනවා’ කියා. ඉංග්‍රීසි භාෂාව දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා යොදාගැනීමට අපි කිසිසේත්ම විරුද්ධ නැහැ. නමුත් සිංහල හා දෙමළ යන භාෂාවල මුල්වලින් දරුවන් ගලවා දැමීම ඉතා වැරදි ක්‍රියාවක්.
දැන් හැමදේටම උත්තර දෙන ටිල්වින් සිල්වා මහත්තයාගෙන් අපි අහනවා, ‘රෝහණ විජේවීර සහෝදරයා පක්ෂයට හඳුන්වාදුන් ප්‍රතිපත්තිය සහ මේ ජාතික ජන බලවේගයේ මහාචාර්යවරිය කියන ප්‍රතිපත්තිය පරස්පර නැද්ද? කියා. ඕනෑවට වඩා බටහිරකරණය වෙන්න ගියාම අත්වන ප්‍රතිඵල තමයි මේ. මව් භාෂාවෙන් දරුවන්ට ප්‍රාථමික අධ්‍යාපනය ලබාදීම නතර කරන්න රාජ්‍ය නොවන සංවිධානවලට උවමනා වී තිබෙනවා. ඒ උවමනාව තමයි ජවිපෙ අද ඉටු කරමින් ඉන්නේ. ‘ඒවාට ලෑස්ති වෙන්න එපා!’ කියා අපි ජවිපෙට අවධාරණය කරනවා.”
0 Comments