ආණ්ඩුව අධිකරණයට බලපෑම් කරන බවට වැරදි මතයක් රටතුළ නිර්මාණය කරමින් සිටින බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.
ඔහු පෙන්වා දෙන්නේ පාර්ලිමේන්තුව ගනු ලබන තීන්දු තීරණ පදනම් කරගෙන අධිකරණය තීන්දු ලබා නොදෙන බවයි.
මෙලෙසම රණවිරුවන්ව අපහසුතාවට පත්කර නීතිය හා සාමය නොමැති අරගලයට ඉන් වාසි ලබාගත් බව පෙන්වා දුන් ඇමතිවරයා අධිකරණය, ව්‍යවස්ථායක සහ විධායකය බිඳ වට්ටවා රාජ්‍ය විනාශ කිරීමට ඇතැම් දේශපාලන පක්ෂ කටයුතු කරමින් සිටින බව ද රණතුංග මහතා චෝදනා කළේය.
පාර්ලිමේන්තුවේ දි අදහස් දක්වමින් ඇමතිවරයා මේ බව සඳහන් කළේය. ප්‍රසන්න රණතුංග මහතාගේ කථාවත් සමඟම පාර්ලිමේන්තුව තුළ උණුසුම් කථාබහක් ද ඇතිවිය.
මේ එම සංවාදයයි.
පා.ම. නිමල් සිරිපාලද සිල්වා –
පාර්ලිමේන්තුවේ නීතිය, සම්ප්‍රදාය වන්නේ කතානායකතුමා තීන්දුවක් දුන්නම ඒක තීන්දුවක් වනවා. ඒකට චැලේන්ජ් කරන ක්‍රමයක් තිබෙනවා. චැලේන්ජ් කරනවා නම් ඔබතුමාට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ගේන එක පමණයි. එහෙම නැතුව මේක විවේචනය කරන්න ඉඩක් නෑ.
පා. ම. අනුර කුමාර දිසානායක මහතා –
පාර්ලිමේන්තුවේ යෝජනාවක් නීතියක් වෙන්නේ නෑ. පාර්ලිමේන්තුවට ඕනෑම නීතියක් සම්පාදනය කිරීමේදී අධිකරණය හරහා එන්න පාරක් හදලා දීලා තියෙනවා. හැබැයි යෝජනා සම්මතයක් කියන්නේ අධිකරණය හරහා එන පාරක් නෙමෙයි. යෝජනා සම්මතය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් සමඟ ගැටෙනවා නම් එම යෝජනා සම්මතය අපේ රටේ මූලික අයිතිවාසිකම් උල්ලංගනය වෙනවා නම්, එම යෝජනා සම්මතයන් අපේ රටේ ව්‍යවස්ථාවේ ජනමත විචාරනයට තුඩු දෙන වගන්තිත් එක්ක ගැටෙනවා නම් කොතැනද ඒක වගු විභාගයට ලක් කරන්නේ. පාර්ලිමේන්තුවට වගු විභාගයට ලක් කරන්න අවස්ථාවක් නෑ. ඒ වෙලාවේදී තමයි අධිකරණයට ගිහිල්ලා ඒකට අවස්ථාවක් තියෙන්න ඕනි. මේ පාර්ලිමේන්තුවේ යෝජනාවක් සම්මත කළා ණය ප්‍රතිව්‍යුගතකරණය පිළිබඳව. සේවක අර්ථසාධක අරමුදලේ සාමාජික සාමාජිකවන්ට ඉතාමත් අහිතකර තමන්ගේ ප්‍රතිලාභ වලට බලපෑම් කරන. ඒ යෝජනාව අධිකරණය හරහා ආ යෝජනාවක් නෙමෙයි. පාර්ලිමේන්තුවට ආ යෝජනාවක්. ඒකට තුඩු දෙන අයට මොකක්ද තිබෙන අවස්ථාව ඒ වෙනුවෙන් ප්‍රශ්න කරන්න.
අලුත් මෝසමක් ඉදිරිපත් කරනවා නම් පාර්ලිමේන්තුවට දින 05 කට පෙර දැනුම් දී ඒ යෝජනාව ඉදිරිපත් කළ යුතුයි. ඒක හරි අපි දැන ගන්නවා. පාර්ලිමේන්තුවට පුළුවන් ඒ ස්ථාවර නියෝගය අත්හිටුවන්න. ඒ ස්ථාවර නියෝගය අත්හිටුවලා දැන් දැනුම් දෙනවා, එක අද තියලා හවස සම්මත කරනවා කියලා. සම්මත කරලා කියනවා අධිකරණය ඒක විභාග කරන්න බෑ කියලා. මේ නියෝගය අනාගතයේ සම්ප්‍රදායක් ලෙස පත් වුනොත් බරපතල තත්ත්වයක් වෙනවා. මේ නියෝගය අත්හිටුවන්න.
ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා-
කතානායකතුමණි, ඔබතුමා දුන්නු තීන්දුවක් කටයුතු කළ අයුතු ආකාරය පිළිබදව නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා මෙතන ප්‍රකාශයක් කළ මම ඒ පිළිබදව මැදිහත් වෙන්නේ නැහැ. මේ කාරණාව පිළිබදව මෙතන නීතිය පිළිබදව අවබෝධය තියෙන අයත් පාර්ලිමේන්තුවේ කාලසීමාව තුළ ඉන්න අයත් තම තමන්ගේ අදහස් පළ කලා. මම ඊට වඩා වෙනස් දෙයක් දකින්නේ ගරු කතානායකතුමණි. මම දන්නේ නැහැ උසාවියෙන් නියෝගයක් දීල එය ඉවත් කළේ ඔබතුමා දුන්නු නියෝගය පදනම් කරගෙනද කියලා. ඒක අපි දන්නේ නැහැ. මම හිතන්නේ නැහැ එහෙම දෙයක් ඒකෙ ප්‍රකාශයට පත් වෙලා තියෙනවද කියල. තීන්දුවේ එහෙම දීල නැහැ. ඒ නිසා මෙතන වැරදි මතයක් හදන්න හදනවා පාර්ලිමේන්තුව අධිකරණයට බලපෑම් කරන්නවා කියලා. මේ අණ්ඩුව වට්ටන එක, රාජ්‍ය වට්ටන්න රාජ්‍ය නොවන සංවීධාන යම් යම් රටවල් වල උවමනාව තුළ කටයුතු කරන කියන කතාවක් තිබුණා.
විපක්ෂයෙන් බාධා….
මම කාටවත් බාධා කලේ නැහැ. පසුගිය කාලේ මතයක් හැදුවා 225 ම එපා කියලා. හැබැයි 225 තුළ තව කණ්ඩායමක් පිළිගන්න ආකාරයටත් වැඩේ වෙනවා. ඒ වගේම පහුගිය කාලයේ හිටපු විධායකය විනාශ කරන්න විධායකයට විශ්වාසයක් නැහැ කියල මතයක් හදල රටේ රාජ්‍ය බලය වට්ටන්නත් හැදුවා. මෙතන බේරිලා තිබුණේ අධිකරණය විතරයි දැන් මෙතන හදනවා බෝජන සංග්‍රහවලට සහභාගී වෙලා අධිකරණයේ තීන්දු වෙනස් කරන්න උත්සාහ කරනවා කියලා. මම මේ කියන්නේ මෙතන කතා වෙච්ච දේවල් පදනම් කරගෙන. හිටපු හැම ජනධිපතිකෙනෙක්ම සමහර අවස්ථාවන් වලදී අධිකරණයට සම්බන්ධ අයට පවා භෝජන සංග්‍රහ තිබ්බා. මෙතන උත්සාහ කරන්නේ විධායකයයි ව්‍යවස්ථාදායකයයි මේවට මැදිහත් වෙනවා කියලා.
කරුණාකරලා ටිකක් ඉන්න. මට හැමෝම කියන දේවල් ඇහෙන්නේ නැහැ. කතා කරනකොට ඇහෙනවා. උඩු බුරනකොට ඇහෙන්නේ නැහැ. ඒක තේරෙන්නේ නැහැනෙ. ඒ නිසා කරුණාකරලා ටිකක් ඉන්න. මගේ කට අවුස්ස ගත්තොත් මගේ වචනත් හරි සැරයි. එතකොට දුක්ඛිතයි. අපසු මේහෙම වෙන්න බැහැ ඒ නිසා කරුණාකරල නිහඩ වෙන්න.
මම මේ කියන්න හැදුවේ කතානායකතුමණි මේ දේ කරන්න එපා. විධායකයට ව්‍යවස්ථාදායකයට අධිකරණයට ගරුත්වයක් තියෙනවා. අධිකරණය කවදාවත් මේ පාර්ලිමේන්තුව ගන්න තීන්දු පදනම් කරගෙන තීන්දු දෙන්නේ නැහැ. ඔබතුමා කළේ ඔබතුමාගේ රාජකාරිය. හැබැයි මේ මතයක් රටේ හදන්න හදන්නේ නැවත මේ රටේ අධිකරණය විශ්වාසයක් නැහැ කියලා. ශ්‍රේෂ්ටාධිකරණ විනිසුරුවරු මේ භෝජන සංග්‍රහවලට ගිහින් තීන්දු වෙනස් කරන්නේ වත්, ඒ භෝජන සංග්‍රහ පගාවකට දෙන දෙයක් වත් නෙවෙයි.
එහෙමනම් පසුගිය කාලයේ ඇමරිකාවට ගිය ශ්‍රේෂ්ඨාධිකරණ පුහුණුකටයුතු වලට. පසුගිය අරගලයට පෙර පොලීසිය හමුදාව රණවිරුවන්ව අපහසුතාවට පත්කළා. පොලීසිය අපහසුතාවයට පත්කරල නීතිය හා සාමය නැති කරල තමයි අරගලයට පදනම් කර ගත්තෙ. මේ කරන්න හදන්නෙත් අධිකරණය ව්‍යවස්ථාදායකය, විධායකය විනාශ කරලා මේ රාජ්‍ය බිදවන්නද කියන ගැටළුව තියෙනවා. ඒ නිසා ඔබතුමා ඉඩදෙන නිසා තමයි මේ කතාවල් යන්නේ. ඔබතුමා ස්ථාවර නියෝග අනුව කටයුතු කරන්න කියන්න. දැන් කාලය ගතවෙලා වැඩියි.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා –
අධිකරණයේ බලය තෙරපලා දැන් ඇති කියලා හරි යන්නේ නෑ. පසුගිය මන්ත්‍රී මණ්ඩල රැස්වීමේ එක්තරා මාධ්‍යක ප්‍රධානීන් පිළිබඳව වීඩියෝ පට පෙන්නලා දැන් මාධ්‍යයට විරුද්ධව තේරීම් කාරක සභා ගේන්න ඕනි කියලා තීන්දු අරන් තියෙනවා. ජනාමාධ්‍ය කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදය සුරකීමේ හතරවැනි කුළුණ. රජයේ මන්ත්‍රී මණ්ඩලය එහෙම තීන්දු අරන් තියෙනවා. මේ රටේ ජනාධිපතිවරයා ප්‍රමුඛ විධායකය මේ රටේ අධිකරණයට ඇඟිලි ගසනවා. අධිකරණය විනිසුරුවන් භීෂණයකට ලක් කරනවා. මේක ඒකාධිපති රටක් නෙමෙයි.
ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා –
පසුගිය රැස්වීමේදී මාධ්‍ය පිළිබඳව සාකච්ඡා කළා. මම වැරදියි කිව්වේ නෑ. ගරු කතානායකතුමනී ඒ ගැන අපි සාකච්ඡා කළා. යම් ආයතන බොරු යම් දෙයක් කියනවා නම් ඒක නිවැරැදි කරනවාද, ඒ සම්බන්ධයෙන් නීතියෙන් කටයුතු කරනවාද කියලා කියනවා. රිචඩ්ද සොයිසට කළා වගේ මරලා දාන්නේ නෑ අපි. අපි ඒ පිළිබඳව විවාදයක් කරන්නේ.
කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා
මට ප්‍රකශ කරන්න තියෙන්නේ අනුර කුමාර දිසානායක මැතිතුමාට මේ තීන්දුව තනියම මම ගත්ත තීන්දුවක් නෙවෙයි. නිසි නීති උපදෙස් අරගෙන ඒ ගැන සාකච්ඡා කරලා තමයි මේ තීන්දුව ගත්තේ. ඊලගට මේකෙදී උසාවි නඩු ගැන කොහෙවත් අපි සදහන් කරලා නැහැ. රටේ මුදල් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ උත්තරීතර භාවය පාර්ලිමේන්තුවටම අයිති බවක් මිසක් වෙනත් කිසි දෙයක් නෙවෙයි. ඊලගට ඔබතුමා කිව්වා ඩීසල් මිල වැඩි කරපු වෙලාවේ එකෙත් තර්කය වුණේ මූල්‍ය පරිපාලනය පාර්ලිමේන්තුව සතුව තියෙන්නේ. ඒ නිසා ඒ අනුව ඒ තීන්දුව ගන්න බෑ කියලා එදා කතා කළේ. එ කෙසේ වෙතත් මගේ තීරණේ වෙනසක් කිරීමට මට අවස්ථාවක් නැහැ නිසි සියලු පියවර අරගෙන තමයි මෙම තීන්දුව ගත්තේ.
0 Comments