අලුත් වී වර්ගයකින් විශාල අස්වැන්නක්.. තුනට කැඩෙන නිසා විකුණන්න බෑ..

 

අම්පාර, මඩකලපුව ඇතුළු නැගෙනහිර පළාතේ ගොවීන් විසින් වගා කර තිබෙන 44/1 වී වර්ගය විශාල අස්වැන්නක් ලැබී ඇති නමුත් එම වී අලෙවි කර ගැනීමට නොහැකිව ගොවි ජනතාව ගැටළුකාරී තත්ත්වයකට මුහුණ පා සිටින බව පාර්ලිමේන්තු පරිශ්‍රයේ පැවති කෘෂිකර්ම උපදේශක කාරක සභාවේ දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අවධාරණය කළහ.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ සහභාගීත්වයෙන් යුත් කෘෂිකර්ම අමාත්‍යාංශයට අදාළ උපදේශක කාරක සභාව අද දින පෙරවරුවේ කමිටු ශාලා අංක 01 දී පැවැත්විණි. එම අවස්ථාවට සහභාගී වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු නැගෙනහිර පළාතේ ගොවීන් මුහුණ පා සිටින මෙම ගැටළුව සම්බන්ධව අමාත්‍යවරයාගෙන් කරුණු විමසීය.

එහිදී අදහස් පළ කළ අමාත්‍යවරයා වී අලෙවි මණ්ඩලය හෝ පුද්ගලික අංශයෙන් මෙම වී වර්ගය මිලදී නොගන්නා බවත්, වී කෙටීමේදී වී ඇට කොටස් 03කට කැඩී යන බැවින් එම වී මිලදී ගැනීම ඉහත කී අංශ දෙකෙන්ම ප්‍රතික්ෂේප වී ඇති බවත් සඳහන් කළේය. නමුත් එවැනි වී වර්ගයක් වගා කීරීම සඳහා ගොවීන් පොළඹවන ලද්දේ ඇයිද යන කාරණය සම්බන්ධව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පැහැදිලි කළ යුතු බවත් අමාත්‍යවරයා කීය.

එමෙන්ම ඉදිරි කන්නවලදී මෙම වී වර්ගය වගා කිරීමට හෝ වෙනත් වී වර්ගයක් හඳුන්වා දෙන්නේ නම් ඒ සම්බන්ධව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ප්‍රතිපත්තිය පැහැදිලි කළ යුතු බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

මේ අතර, මෙම වී වර්ගයෙන් ලැබී ඇති අස්වැන්න සත්ව ආහාර සඳහා හෝ වී අලෙවි මණ්ඩලය මඟින් මිලදී ගැනීමට අපේක්ෂා කරන බවත් අමාත්‍යවරයා කීය.

මෙම උපදේශක කාරක සභා රැස්වීමට කෘෂිකර්ම අමාත්‍යාංශය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව ඇතුළු කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ පවතින ආයතන රැසක නිලධාරීහු සහභාගී වූහ.

Post a Comment

0 Comments