මත්පැන් බෝතලයකට යන්නේ රුපියල් 1.80 යි.. නමුත් ආණ්ඩුවේ බද්ද රුපියල් 2900යි..

 



‘අපිට වාර්තා වුණා දිගින් දිගටම කවුරුත් මේ රටේ දැනන් හිටියා මෙතන තියෙනවා ව්‍යාජ ස්ටිකර් කියලා. ඒ ව්‍යාජ ස්ටිකර් හරහා විශාල බදු මුදලක් අහිමි වෙන බව. උදාහරණයක් හැටියට මි.ලී. 750 බෝතලයකට යන්නේ 1.80 යි. නමුත් ආණ්ඩුවේ බද්ද රු. 2900 ක් අහිමි වෙනවා’  එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දුන් රණවක මහතා;,

“සමාජ මාධ්‍ය හා පොදුවේ අන්තර්ජාලය භාවිතා කොට සිදුකරගෙන යන සමාජීය ප්‍රචාරණයන් නියාමනය කිරීමේ මුවාවෙන් නව පනත් කෙටුම්පතක් ගැසට් කරලා තියෙනවා. මෙහි මුඛ්‍ය අභිමතාර්ථය හැටියට පෙන්නලා දීලා තියෙන්නේ රට තුළ වැරදි තොරතුරු ජනගත කිරීම වැළැක්වීම. ඒ වගේම වැරදි තොරතුරු මත පදනම් වෙලා රට තුළ යම් යම් කලකෝලාහල ඇතිවීම වැළැක්වීම. ඒ වගේම සම්පූර්ණ අසත්‍ය තොරතුරු එහෙම නැත්නම් තොරතුරක් විකෘති කොට පළකිරීම මගින් සිදුකරන අයුක්තිසහගතව යම් පුද්ගලයෙකුට හෝ කණ්ඩායමකට රටකට රාජ්‍ය යන්ත්‍රයට සිද්ධවෙන දෑ වැලැක්වීම වැනි අදහස්වලියක් තමයි ඉදිරිපත් කරලා තියෙන්නේ.

නමුත් මේ සඳහා පත්කරන කොමිෂන් සභාව, ජනාධිපතිවරයා පත්කරන සම්පූර්ණ දේශපාලන කොමිෂන් සභාවක්. එතකොට එම දේශපාලන කොමිෂන් සභාවේ පූර්ව විනිශ්චයට මේ සියලු දෑ ලක්වෙනවා. අපිත් පිළිගන්න දන්නවා අසත්‍ය දෑ මඩ ප්‍රචාර ඒ වගේම ජනවාර්ගික සමාජ කලකෝලාහල ඇතිවීමට තුඩු දෙන ආකාරයේ සමාජ මාධ්‍ය ප්‍රචාරණයන් සිද්ධ වෙනවා. ඒවා මේ රට තුළ සිදුවෙන දෑ විතරයි මේකෙන් නියාමනය හෝ මර්ධනය කරන්න පුළුවන් වෙන්නේ. විදේශ රටවල ඉඳන් කරන ලාංකිකයන්ගේ දෑ මර්දනය කිරීමේ හැකියාවක් ලැබෙන්නේ නෑ.

මේ විදිහට ජනාධිපති පත් කරන දේශපාලන කොමිසමකට මේ බලය ලබාදීම විසින් මෙවැනි දෑ ආණ්ඩුවට පක්ෂ විපක්ෂ අවශ්‍යතාව මත මෙවැනි දෑ මර්දනය කිරීම තමයි වෙන්නේ. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවභාවිතා කිරීම, අපි පසුගිය කාලයේ දැක්කා. ඒක වැළැක්වීමට හිතන්න. ඒ වගේම මේ ඇතැම් දූෂිත කල්ලි හිතනවා අර පසුගිය අවුරුද්දේ ඇතිවෙච්ච අරගලය, මේ රටේ ප්‍රජාතාන්ත්‍රික විපක්ෂය මග ඇරපු, ඒ අරගලය ජනතාව අතට අරගෙන, ජනතාව විසින් සෘජු ක්‍රියාමාර්ග ගැනීමට ගොඩාක් තුඩු දුන්නා. සමාජ මාධ්‍යවල එකමුතුභාවය. අන්න එවැනි දෑ වෙන්න පුළුවන්. තමුන්ට මර්ධනයේ හස්තයෙන් කියලා. ඒක ලොකු වැරදීමක් බව ප්‍රකාශ කරන්න ඕනේ. දෙවෙනි කාරණය මේ මාර්ගගත, එහෙම නැත්නම් අන්තර්ජාලය පදනම් කරගෙන යන සියලුම දෑ ලංකාව තුළ ලියාපදිංචි වීමක් ඉල්ලා තිබෙනවා. මේකට මේ අන්තර්ජාතික ආයතන කොහොම ප්‍රතිචාර දක්වයිද කියන්න බෑ.

දත්ත සේවා එහෙම නැත්නම් ඩිජිටල් සර්විසස් සඳහා බදු අය කිරීමක් කෙරෙන්නේ නැහැ. ලෝකයේ එවැනි බදු අය කිරීමක් නොකරන රටවල් හයෙන් එකක් ලංකාව. අනෙක් සෑම රටක්ම මේ සඳහා බදු අය කරනවා. මම හිතනවා මේ රටේ සාමාන්‍ය ජනයා වැඩ කරන ජනයාගේ ඊ පී එෆ් එක, ඊ ටී එෆ් එකට ගහන්න හදන ආණ්ඩුව. මේ රටේ වෘත්තීයමය පඩි පතට ගහලා ඒ වෘත්තීයවේදීන්, වෛද්‍යවරුන්, ඉංජිනේරුවන් රටෙන් පන්නා දමන ආණ්ඩුව. මේ මහා සමාගම් වලින් බදු අය නොකර ඉන්නේ ඇයි කියන එක අපිට ලොකු ප්‍රශ්නයක්. ඒ නිසා අපි මේක පාර්ලිමේන්තුවේත් පැන නගලා, අපි මේ ගැන නිර්දේශත් කරලා තියෙනවා. හැබැයි ආණ්ඩුව තාම ගොළුවත රකිනවා. ඒ නිසා මහා භාණ්ඩාගාරය හා විශේෂයෙන්ම ශ්‍රී ලංකා මහ බැංකුවට වගකීමක් තියෙනවා මේ පිළිබඳ ක්‍රියාත්මක කරන්න. ඒ නිසා මේ ඩිජිටල් සර්විසස් වලින් මේ රටට ලැබිය යුතු බද්ද, මේක ඉන්දියාව කරනවා නම්, ඇයි අපි කරන්නෙ නැත්තේ? අපට ලැබිය යුතුයි. ඒවා සඳහා ක්‍රියාත්මක වෙන්නේ නැතුව මේ සමාජ ජාලා ක්‍රියාකාරිකයන් හා සමාජ ජාලා මර්දනය කිරීමට තැත් කිරීම අපි තරයේම හෙළා දකිනවා.

රටට අවශ්‍ය කරන නියාමනය අවශ්‍යයි. ඒ සඳහා යම්කිසි ස්වාධීන, විධිමත් ක්‍රියාමාර්ගයක් අවශ්‍යයි. මොකද ලංකාවේ ඇතිවෙන්න ජනවාර්ගික, ආගමික, වෙනත් ත්‍රස්තවාදී ක්‍රියාවලින් බැට කාපු රටක්. එය වැළැක්වීමට ක්‍රියා කිරීම අවශ්‍යයි නමුත්, මේ ආණ්ඩුවේ මහජන විශ්වාසය දිනෙන් දින භයානක ලෙස කඩාපාත් වෙලා තියෙනවා. ඒක වැලැක්වීමට අර පසුගිය වසරේ වෛරයට ලක් වෙච්ච මේ රටේ ජාවාරම්කාර පිරිස මේ වසල රදළයෝ රැල උත්සාහ කරන ස්වභාවයක් තමයි අපිට පේන්න තියෙන්නේ. ඒකට අපේ තරයේ විරුද්ධත්වය පළ කරන අතර තදින් අවධාරණය කරනවා මේ දත්ත පදනම් කරගත් ව්‍යාපාර සේවා වලින් බදු අය කළ යුතුයි කියලා.”

මත්පැන් බෝතල්වල ස්ටිකර් ක්‍රමය කියන්නෙ මොකක්ද?

අපිට වාර්තා වුණා දිගින් දිගටම කවුරුත් මේ රටේ දැනන් හිටියා මෙතන තියෙනවා ව්‍යාජ ස්ටිකර් කියලා. ඒ ව්‍යාජ ස්ටිකර් හරහා විශාල බදු මුදලක් අහිමි වෙන බව. උදාහරණයක් හැටියට මි.ලී. 750 බෝතලයකට යන්නේ 1.80 යි. නමුත් ආණ්ඩුවේ බද්ද රු. 2900 ක් අහිමි වෙනවා. කිසිම අවස්ථාවක සුරාබදු දෙපාර්තමේන්තුව හා මුදල් අමාත්‍යාංශය මේ පිළිබඳ පියවර ගත්තේ නෑ. කතා කර කර හිටියා විතරයි. පසුගිය අගෝස්තු 10 වෙනිදා සුරාබදු දෙපාර්තමේන්තුව ගැන විමර්ශනය කරන අපේ ක්‍රම සහ විධි කාරක සභාවේ මන්ත්‍රීවරු සියලු දෙනාම තීරණය කළා මේ පිළිබඳ වැටලීමක් කරන්න කියලා. මොකද අපේ මන්ත්‍රී කණ්ඩායම ඉදිරියේම එක්තරා ස්වාධීන පුද්ගලයෙක් ඔප්පු කළා ව්‍යාජ ස්ටිකර් සැරිසරන බව. මත්පැන් වල. ඉතින් ඒ අනුව සුරාබදු දෙපාර්තමේන්තුව ක්‍රියාකාරී වෙලා වැටලීම් කළා. වැටලීම් කරලා විශාල ප්‍රමාණයක් ව්‍යාජ ස්ටිකර් හොයාගෙන තියෙනවා. ඒ පිළිබඳව යම් යම් දඬුවම්, බදු අය කිරීම් ආදිය කරලා තියෙනවා. වැදගත්ම කාරණය තමයි අත්අඩංගුවට ගන්නා ලද බෝතල් වලින් 95%ක් ම ව්‍යාජ ස්ටිකර් බව ඔප්පු වෙලා තියෙනවා. එකම සමාගමකින් ද, මේ ව්‍යාජ එකයි, හරි එකයි මුද්‍රණය කළේ කියලා විමර්ශනය කරන්න නියෝග කළා. ඒ වගේම මෙය කිරීම සඳහා අපරාධ වරදක් කරලා තියෙනවා නම් ඒ පිළිබඳ ක්‍රියාත්මක වෙන්න කියලා. ඉතින් ඒ වගේම දෙවතාවක් මේ වරද කරනවා නම්, ඒ අදාළ පුද්ගලයින්ගේ බලපත්‍ර අහෝසි කරන්න කියලා.

ඒ වගේම අපි අවධාරණය කළා, දැනට රුපියල් මිලියන 6500 ක් පමණ බදු නොගෙවා ගණනාවක් ඉන්නවා. ඒ බදු නොගෙවා ඉන්න අයගේ බදු අයකර ගැනීමට ඔක්තෝබර් තිහට පෙර කටයුතු කරන්න කියලා. එහිදී අපිට වාර්තා වුණා සමාගම් දෙකක් වයඹ ස්ප්‍රිතු සමාගම සහ ග්ලෝබ් බ්ලෙන්ඩර් කියන සමාගම් දෙක දැනට ආසන්නයෙන් රුපියල් මිලියන 1400 ක් පමණ ගෙවිය යුතුයි. ඒ කියන්නේ කෝටි 140 ක් පමණ ගෙවිය යුතුයි. දැන් ඒ සමාගම් අතුරුදහන් වෙලා තියෙනවා. සුරාබදු දෙපාර්තමේන්තුව අපිට වාර්තා කළා. ඒ සමාගම් වල ගොඩනැගිලිත් නෑ. මිනිස්සුත් නෑ. නෑ කියලා.

ඉතින් මේක පුදුම තත්ත්වයක්. රටේ සමාගම් හදලා, මත්පැන් විකුණලා, ලාභ උපයලා, බදු ගෙවන්නේ නැතුව සමාගම් වහලා දාලා අතුරුදහන් වෙනවා. ඒ පිළිබඳව ක්‍රියාමාර්ගයක් ගන්නේ නෑ මුදල් අමාත්‍යාංශය හා සුරාබදු දෙපාර්තමේන්තුව. මේ පිළිබඳ අපි බලධාරීන්ගේ අවධානය නැවත නැවත යොමු කරනවා. මේ මොකද මේ විමර්ශන කටයුතු අපිට කරන්න බැහැ. හැබැයි මේ හරහා රට ඇතුලේ දැවැන්ත වංචාවක් වෙනවා. මේ මත්පැන් වල ගුණාත්මකභාවය, ප්‍රමිතිය පිළිබඳ ප්‍රශ්න මේ හරහා රජයට බදු මුදල් බිලියන ගාණක් අහිමි වෙනවා. මෙච්චර කාලයක් දීපු උත්තරය තමයි, මත්පැන් වල මිල ගණන් ඉහළ නිසා විශේෂයෙන්ම කසිප්පු වැනි නිෂ්පාදන වලට මිනිස්සු ඇදිලා ගිහිල්ලයි කියලා. ඒක ඇත්ත වෙන්න පුළුවන්. නමුත් වඩා වැදගත් දේ, ව්‍යාජ මත්පැන් රජයට බදු නොගෙවන මත්පැන් සමාජය තුළ මහා පරිමාණයෙන් හැසිරෙනවා. ඒවා වැළැක්වීම සඳහා පියවර ගන්නෙත් නැහැ. බදු අයකර ගැනීම සඳහා පියවර ගන්නෙත් නැහැ. ඔක්තෝබර් තිහ දක්වා මේ කටයුතු සිද්ධ වුණොත් අපේ නියෝගයන් ඔවුන් කටයුතු නොකලොත් ඔවුන්ට එරෙහිව විවෘත ක්‍රියාමාර්ගයක් ගැනීමට අපිට සිද්ධ වෙනවා. අපි ඊයෙම දැනුම් දුන්නා මුදල් අමාත්‍යාංශයට. අපි බලාපොරොත්තු වෙනවා මුදල් අමාත්‍යාංශය මේ පිළිබඳව දැන්වත් අවදි වෙලා අහිමි වෙන බදු මුදල ගන්න බලාපොරොත්තු වෙයි කියලා. මොකද ජනතාවට වැට් බද්දෙන්, වෘත්තීයවේදීන්ට පේයි බද්දෙන් ගහන බදු ගැහිල්ල මේ අරක්කු මුදලාලිලාට නැද්ද කියන ප්‍රශ්නය දැන් මතුවෙලා තියෙන නිසා.”

Post a Comment

0 Comments