හැමිල්ටන් රිසර්ච් බැංකු ගනුදෙනුවට ප‍්‍රබලයෙකුගේ සම්බන්ධයක්…?

 



හැමිල්ටන් රිසර්ච් බැංකුව (HRB) විසින් එක්සත් ජනපද අධිකරණයේ දී ශ්‍රී ලංකාව තමන්ට අයත් ඩොලර් මිලියන 250 ක ණය ආපසු නොගෙවීම පිළිබඳ 2022 ජූලි මාසයේදී පවරනු ලැබූ නඩුවට අදාළව (12) දින ආර්ථික යුක්තිය උදෙසා ජනතා සමුහිකය විසින් ශ්‍රී ලංකා මහ බැංකුවට තොරතුරු දැනගැනීමේ අයිතිය යටතේ එම ගනුදෙනුවට අදාළ තොරතුරු ඉල්ලීමක් සිදුකරමින් ලිපියක් භාරදෙනු ලැබිණ.

මෙයට හේතු වූයේ හැමිල්ටන් රිසර්ච් බැංකුව හා එහි අයිතිකරුවා වන බෙන්ජමින් සමඟ මෙරට හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සම්බන්ධයක් පැවැත්වීම හා එනිසාවෙන් එම ගනුදෙනුවේදී යම් වංචාවක් සිදුවී ඇද්ද යන්න පිළිබඳ සාධාරණ සැකයක් ශ්‍රී ලංකා ජනතාව වශයෙන් ඇතිවීම හේතුවෙනි.

එහිදී ශ්‍රී ලංකා බලධාරීන් විසින් අන්තර්ජාතික ස්වෛරී බැඳුම්කර නිකුත් කිරීමේදී අධික පොලී ගෙවීම සඳහා නිත්‍යනුකූල නොවන ලෙස කොමිස් ලබාගත් බවත්, අධික පොලියට ලබාගත් එකී මුදල් වියදම් කිරීමේදී හා ගෙවීමේදී දුෂණ සිදුවූ බවටත් සාධාරණ සැකයක් මතුව ඇති බව වැටහීම නිසාවෙන් මෙලෙස ආර්ථික යුක්තිය උදෙසා ජනතා සමුහිකය විසින් අදාළ ගනුදෙනුව පිළිබඳ තොරතුරු ඉල්ලා ශ්‍රී ලංකා මහ බැංකුවට ලිපියක් බාරදීම සිදුවිය.

මෙම අවස්ථාව සඳහා සම්බන්ධ වූ ආර්ථික යුක්තිය උදෙසා ජනතා සාමූහිකයේ කැඳවුම්කරු නදීෂ ද සිල්වා මහතා දැක්වූ අදහස්..

“ඇත්තටම මේ කියන දේට හිටපු මහ බැංකු අධිපති කබ්රාල් මහතාගේ යම්කිසි අ සම්බන්ධයක් තියෙනවද? අපි දන්නෑ එතුමා සම්බන්ධ ද නැද්ද කියලා. නමුත් සම්බන්ධයක් තියෙනවාද කියන දේ ගැනත් මේවා ගැන අපිට පැහැදිලි විස්තරයක් අපි ඉල්ලලා තියෙනවා. මේ බැඳුම්කරය ඇත්තටම කවද්ද මේක නිකුත් කළේ?. ඒ වගේම මේ බැඳුම්කරයට 2012 අවුරුද්දේ ඉඳන් 2022 කල් පිරෙන දවස වෙනකම්ම පොලී මුදල් වශයෙන් කීයක් ගෙව්වද?. මේ බැංකුව ඇත්තටම කොහේ ලියාපදිංචි වෙච්ච බැංකුවක්ද? මිලියන 250 කොටස මිලදී ගත්තේ ඇත්තටම කවදද? ඒ වගේම අඩු වටිනාකමක්, ඒ කියන්නේ මේ වෙනකොට ලංකාව බංකොලොත් වෙන්න ආසන්න මොහොතකදි තමයි මේක මුල් ගෙවීම සිදුකරන්නේ. ඒ ගෙවීම නිසා ලබපු ලාභය කොපමණද?. ඇත්තටම අතිරේක ලාභයක් ඒගොල්ලෝ ලැබුවද? ඒක පිටිපස්සේ තියෙන ගනුදෙනුව මොකක්ද? ඒක පිටිපස්සේ ලංකාවේ හිටපු මහ බැංකු අධිපතිවරයා ඉන්නවද? එයාටත් ඒකෙන් කෑල්ලක් කීයක් හරි කොටසක් ගියාද? කියන එක වගේ ප්‍රශ්නාවලියක් අපි යොමු කරලා තියෙනවා. මහ බැංකුව විසින් අපේ ප්‍රශ්නාවලිය භාර ගත්තා සහ ඒගොල්ලන් පොරොන්දු වුණා මහ බැංකු අධිපතිවරයා විසින් මේ සම්බන්ධව අදාළ තොරතුරු ලබා දෙනවා කියලා.”

මෙහිදී ඉල්ලීම් ලිපිය ලබාදීමේ අවස්ථාව සඳහා ආර්ථික යුක්තිය උදෙසා ජනතා සාමූහිකයේ විධායක සභික දර්ශන තාන්ත්‍රිගේ මහතා සහ ආර්ථික යුක්තිය උදෙසා ජනතා සාමූහිකයේ නියෝජිත ධනංජය සිරිවර්ධන මහතා ද සම්බන්ධ විය.

Post a Comment

0 Comments