මුහුදු සීමා උල්ලංඝනය හේතුවෙන් මාස තුනක තහනමකට ලක් වූ බහුදින ධීවර යාත්‍රා 190 ක තහනම මානුෂික හේතූන් මත ඉවත් කිරීමට ධීවර අමාත්‍යාංශය කටයුතු කළ බව ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මහතා ධීවර අමාත්‍යාංශ පරිශ්‍රයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසීය.
බහුදින ධීවර යත්‍රාවල සවිකර ඇති වී.එම්.එස් යන්ත්‍ර හරහා ධීවර දෙපාර්තමේන්තුවට මෙම මුහුදු සීමා උල්ලංඝනය කිරීම් පිළිබඳ තොරතුරු වාර්තා වී තිබුණි. ඒ අනුව ධීවර දෙපාර්තමේන්තුව විසින් මෙම ධීවර යාත්‍රා වෙත මාස තුනක ගමන් තහනමක් පැනවීමට ඉකුත්දා කටයුතු කළේය.
කෙසේවෙතත් මෙම ධීවර යාත්‍රා හිමියන් සහ එම ධීවර යාත්‍රාවල සේවය කරනු ලබන ධීවරයන්ගෙන් සහ ඔවුන්ගේ පවුල් වෙතින් මෙම තහනම පිළිබඳව සානුකම්පිතව සලකා බලන ලෙසට ධීවර අමාත්‍යාංශය වෙත දිගින් දිගටම ඉල්ලීම් ලැබුණි. රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මහතා සඳහන් කලේ මෙම ඉල්ලීම සළකා අවසන් වතාවට මෙම සහනය ලබාදීමට කටයුතු කර බවයි.
” මෙම ධීවරයන්ට සහ ධීවර පවුල් වලට වර්තමාන ආර්ථික තත්ත්වයන් හමුවේ මාස තුනක තහනම දරාගත නොහැකි බව අප වෙත දන්වා තිබුණා. ඇත්තටම ධීවර යාත්‍රාවක හය දෙනෙක් විතර වැඩ කරනවා. ඒ අය පීඩාවට පත්වන බව අපි දන්නවා. ඒ නිසාවෙනුයි කැබිනට් අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාගේ අනුමැතියට යටත්ව අපි මේ තහනම ඉවත් කරන්න කටයුතු කලේ. කොහොම නමුත් මේක අවසන් වතාව. නැවත කිසිවෙක්ට සමාව ලබාදීමේ හැකියාව නෑ.
මේක බරපතළ තත්ත්වයක් බව ධීවර ප්‍රජාව අවබෝධ කරගත යුතුයි “මානුෂීය හේතූන් මත මෙම සහනය ලබා දුන්නද වෙනත් රටවල මුහුදු සීමා උල්ලංඝනය කිරීම, බරපතළ වරදක් බව ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මහතා සඳහන් කලේය. ධීවර යාත්‍රා හරහා සිදුවන විවිධ නීති විරෝධී කටයුතු වළක්වා ගැනීමේ අරමුණෙන් ඉදිරියේ දී මෙම නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
වී. එම්. එස් තාක්ෂණය මේ වන විට දිවයිනේ සියලුම බහුදින ධීවර යාත්‍රාවන්ට ලබා දී තිබේ. ඒ අනුව ධීවර කටයුතු කළමනාකරණය කිරීමටත් ධීවරයන් මුහුදේ දී මුහුණ දෙන ගැටලු වලට සංවේදී වීමටත් ධීවර අමාත්‍යාංශය ඇතුළු වගකිව යුතු ආයතන වෙත අවකාශය සැලසී තිබේ.

0 Comments