පාස්කු බෝම්බය ගැන චම්පිකගේ කොටස හැලෙයි..

 

මේ වනවිට පවතින රාජ්‍ය තුළ තවත් රජයක් නිර්මාණය වී ඇති බවත් පාස්කු ප්‍රහාරයට, අපැහැදිලි සිදුවීම් වලට, ඝාතන, අතුරුදහන් වීම්, යටපත් කරන ලද නඩු වලට සාධාරණයක් ඉෂ්ඨ කිරීම සඳහා 2024 මැතිවරණයේදී ජනතාවගේ රාජ්‍යක් නිර්මාණය කරගත යුතු බව එක්සත් ජනරජ පෙරමුණු නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

ඒ මහතා (22) පාර්ලිමේන්තුවේ පැවති විවාදයේදී මේ පිළිබඳව අනාවරණය කරමින් අදහස් දක්වන ලදී.

පාඨලී චම්පික රණවක මහතා වැඩිදුරටත් දැක්වූ අදහස්,

සහරාන් හසීම් මේ කතා කරන මාවත් පට්වා පනවලා මරණ්න තීරණය කරලා තිබුණේ. ඒ වගේම පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරලා තියෙන වාර්තාවෙන් කොමිසමට ලබා දීපු මගේ දීර්ඝ සාක්ෂිය අවාසනාවකට හැලිලා තියෙනවා. කෙසේ වුණත් ඒ සාක්ෂිය හරියට උඩ පහළ අරගෙන බැලුවා නම් මේ ප්‍රශ්නයේ අග මුල පිළිබඳව වැදගත් සොයා බැලීමක් කරන්න පුළුවන්.

දැන් මේ ප්‍රශ්නය මතුවෙලා තියෙන්නේ අසාත් මවුලානා නොහොත් මොහොමඩ් මිහිලාර් මොහොමඩ් හන්සීර් චැනල් ෆෝ නාලිකාවට කලයි කියන ප්‍රකාශයකුත් ඒ වගේම ඔහු එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට සිදුකළා යැයි කියන සාක්ෂි දීමකුත් එක්ක පැන නැගිලා තියෙන තත්වයක්. ඉතින් අපිට නම් සහරාන් හෝ එහෙමත් නැත්නම් චැනල් ෆෝ එක එතරම් වැදගත් වෙන්නෑ.

මේ සම්බන්ධයෙන් විමර්ශන කටයුතු කරපු ශානි අබේසේකර මහත්මයා, ඒ වගේම රවී සෙනෙවිරත්න, ඒ කාලේ හිටපු නියෝජ්‍ය පොලිස්පතිතුමා මේ ගැන ශ්‍රේෂ්ඨාධිකරණය දීලා තියෙන දිවුරුම් ප්‍රකාශ කියවලා බැලුවනම් මේ පිළිබඳව තිබෙන විවාදාත්මක තත්වය මනාව අපිට අවබෝධ කරගන්න පුළුවන්. අපි බොහොම පැහැදිලිව මතක තියාගන්න ඕනේ කරුණු තුනක් තියෙනවා.’ බුද්ධි තොරතුරු, විමර්ශනය, මෙහෙයුම්’. බුද්ධි තොරතුරු ලබා දීමේදී කොයි විදියේ බරක් තියෙනවද? ඒ වගේම විමර්ශන කටයුතු නිදහසේ කරගෙන යන්න විමර්ශකයන්ට ඉඩකඩ ලැබිලා තියෙනවද? මෙහෙයුම් වළක්වන්න කවුරුහරි කටයුතු කළාද? කියන මේ කාරණාත් එක්ක තමයි අපිට මේ ආයතනත් එක්ක කටයුතු කරන්න වෙන්නේ. එහෙම තමයි අපිට SIS , යුධ හමුදා බුද්ධි අංශය, ත්‍රස්තවාදය වැළැක්වීමේ TID, CID, මෙහෙයුම් කරපු විශේෂ බලකාය, හමුදාවේ විශේෂ බලකාය ගැන අපිට කතා කරන්න පුළුවන් වෙන්නේ.

බොහොම පැහැදිලිව මම කියනවා මේ රටේ සහරාන් හෂීම්ගේ ව්‍යාපාරය, කවුරුහරි දේශපාලන වශයෙන් බලයට පත් කරන්න කටයුතු කරපු ව්‍යාපාරයක් නෙවෙයි. ආගමික උන්මාදයකින් මෙහෙය වෙච්ච තව්හිද් ජමාත් නමැති දේශපාලන, ආගමික ව්‍යාපාරයෙන්, ආගමික නිකායෙන් කැඩිලා ගිය පිරිසක්. මේ පිරිස දහ අවුරුද්දකට අධික කාලයක් තමන්ගේම ආගමික කණ්ඩායම ඇතුලේ ස්වයං ප්‍රචණ්ඩ ක්‍රියාවන් වල නියැලුනා. ඒ නියැලුනාට අපේ බලධාරීන් හෝ වෙනත් අය ඒ අය නතර කරන්න ක්‍රියා කළේ නෑ. ඒකේ ප්‍රතිඵලයක් හැටියට තමයි මෙතෙන්ට ගමන් කළේ.

ඒ වගේම බුද්ධි අංශ අතරේ හා ඔවුන් අතරේ තිබුණයි කියන සබැඳියාව ඔප්පු වෙලා තියෙනවා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්මයත් පිළිඅරන් තියෙනවා. ඒ සබැඳියාව පාවිච්චි වෙලා යම්කිසි ආකාරයක සහයෝගීතාවයක් ඔවුන් එක්ක තිබුණද? ඔවුන්ට මේ ක්‍රියාවලිය කරන්න උත්තේජනයක් මේ යුධ හමුදා බුද්ධි අංශයෙන් හෝ SIS ආයතනයෙන් කළාද? කියන එක තමයි මෙතන තිබෙන ගැටලුව. ඒක තමයි අර නියෝජ්‍ය පොලිස්පතිතුමා ඒ වගේම එහි ප්‍රධාන මෙහෙයුම් අධිකාරීයේ ප්‍රශ්න කරලා තියෙන්නේ.

මෙතැනදී නිවැරදි තොරතුරු නිසි බරකින් ලබාදීලා තියෙනවද? අනතුරක් පිළිබඳ තොරතුරු ආවා. ඒ ආවේ කොහොමද කියන එක ගැන නිසි බරකින් යුතුව අදාළ බලධාරීන්ට ලබා දුන්නද? ඒ ගැන ක්‍රියා කරන්න යම් බලපෑමක් තිබුණද? විමර්ශන සඳහා බාධා කළාද? විමර්ශන කරගෙන යන කොට CID නොමඟ යැවීමට, එහෙමත් නැත්නම් අත්අඩංගුවට ගත්ත පුද්ගලයින් නිදහස් කරගැනීමට එහෙම නැත්නම් ඒ අත්අඩංගුවට ගත්ත පුද්ගලයින් අත්අඩංගුවට ගන්න බැරිවෙන විදියට කටයුතු යෙදීමෙන් බාධා කළාද? ඒවා අර ජනාධිපති කොමිසම් වාර්තාවේ සවිස්තරව පලවෙලා තියෙනවා එවැනි සිදුවීම් ගණනාවක්. ඒ නිසා මේ මෙහෙයුම් අවුල් කිරීමට කටයුතු යෙදුනාය කියන එක අපි පැහැදිලිව තේරුම්ගත යුතු භයානක සත්‍යයක්.

ඊළඟට මේ කණ්ඩායම මෙහෙ විතරක් නෙමෙයි ක්‍රියාත්මක වුණේ. මේ කණ්ඩායම දකුණු ඉන්දියාවේ ක්‍රියාත්මකයි. තමිල්නාඩුවේ මේ අබුහින්ගේ අඩවිය හරහා දකුණු ඉන්දියානු ඒ හිටපු අන්තවාදී කණ්ඩායම් එක්ක සම්බන්ධයි. ඒ වගේම රජය ඉතාම වැරදි තීරණයක් ගත්තා. ඒක තමයි, මේ අන්තවාදී සංවිධාන වලින් ප්‍රමාණයක් තහනම් කරලා තිබුණා. ඒවායේ තහනම ලිහිල් කළා. මොකද උනේ? වැලිගමදී පසුගියදා සිද්ධියක් ඇති වුණා. ඔය සිද්ධිය දශකයකට විතර කලින් ඔය විදිහටම සිද්ධ වුණා.

ඒ නිසා අපි මතක තබා ගත යුතුයි මෙවැනි කණ්ඩායම් එක්ක සෙල්ලම් කරන්න හොඳ නෑ. දේශපාලනමය වශයෙන් අපි කටයුතු කරද්දී දේශපාලනයේ වෙන දෙයක්. නමුත් ජාතික ආරක්ෂාව කියන එක තවත් දෙයක් කියන එක හිතේ තියාගෙන අපි කටයුතු කරන්න ඕනේ. මේ විමර්ශන අන්තර්ජාතිකව කරන්න කියනවා. තව පර්යේෂණ කමිටු දාන්න කියනවා. ඒක කිසිසේත්ම සාර්ථක වෙන්නෑ.

මොකද මෙතන තියෙන බලගතු ප්‍රශ්නය තමයි මේ රාජ්‍ය ඇතුලේ වෙනත් රාජ්‍යයක් අද බිහිවෙලා තියෙනවා. දැන් මේ ආණ්ඩුවේ උපකරණ වෙන ඇතැම් ආයතන රාජ්‍ය විනිවිද ගිහිල්ලා රාජ්‍යය තුළ තවත් රාජ්‍යයක් පිහිටුවාගෙන තමන්ට ඕන ආණ්ඩු ගේන්න. තමන්ට ඕන පුද්ගලයන් ගේන්න. තමන්ට ඕන විදියේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න. මේ රාජ්‍ය උපකරණ පාවිච්චි කරනවාය කියන සැකය විමර්ශනය තුළ තියෙනවා.

මේ තක්කඩි රැල මේ මුල් පුටුවල සිටින තාක් කල් මේ විමර්ශන නිසියාකාරයෙන් සිද්ධ වෙන්නේ නෑ. ඒ නිසා අපේ ජනතාවට අනිවාර්යෙන්ම එළඹෙන ඊළඟ ජාතික මැතිවරණයකදී තීන්දුවක් ගන්න වෙනවා. මේ රාජ්‍ය තුළ වැඩ කරන රාජ්‍ය වෙනුවට ජනතාවගේ නියම ජනරජයක් පිහිටුවා ගැනීම සඳහා වෙච්ච ක්‍රියාමාර්ගයකට එළඹෙන්න. එහෙම නැතුව ඔය විමර්ශනවලින් ඒ වගේම පාර්ලිමේන්තු කමිටු වලින් යුක්තිය පාස්කු ප්‍රහාරයටවත් ඒ වගේම අපැහැදිලි සිදුවීම් ගණනාවක්, ඝාතන ගණනාවක්, අතුරුදහන් වීම් ගණනාවක් යටපත් කරන ලද නඩු ගණනාවක් තියෙනවා. ඒ කිසිවකට විසඳුම ලැබෙන්නේ නෑ. ඒ නිසා ජනතාවගේ රාජ්‍යයක් ගෙනල්ලා මේ සඳහා වගකිවයුතු සියලු දෙනාටම, මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන අය වෙන්න පුළුවන්. රජයේ ආරක්ෂක අංශ නියෝජනය කරන අය වෙන්න පුළුවන්. සමහර විට අතීතයේ වෙනත් කාරණා සඳහා රට වෙනුවෙන් කැපවීමෙන් කටයුතු කරලා වෙන්න පුළුවන්. ඒ අයගේ තරාතිරම නොබලා කටයුතු කරන්න. අපි මහජන මතයක් දියත් කළ යුතුයි. එවැනි ආණ්ඩුවක් සැබෑ ජනරජයක් බිහි කරගත යුතුයි කියලා මම ප්‍රකාශ කරනවා.

Post a Comment

0 Comments