බිලියන දහයකට වැඩි දූෂණ ගැන තවත් පැමිණිලි විස්සක්…

 

සිවිල් පුරවැසි අරගල ව්‍යාපාරය හා ජනතා ක්‍රියාකාරීන්ගේ සන්ධානය යන සංවිධාන දෙක 20 දිනයේත් නව දූෂණ විරෝධී පනත යටතේ ස්ථාපිත අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත මහා පරිමාණ වංචා දූෂණ අක්‍රමිකතා නාස්තීන් සම්බන්ධව පැමිණිලි විස්සක් භාර දෙනු ලැබුවා .

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ලබාදුන් අගරු චෙක්පත් සම්බන්ධව ක්‍රියා නොකිරීම පිළිබඳ පැමිණිල්ල , ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සුපර් සොපර් යන්ත්‍ර මිලදී ගැනීමේදී සිදුවූ අක්‍රමිකතා සම්බන්ධ පැමිණිල්ල , පොහොර ආනයනයේ දී සිදු වූ රුපියල් බිලියන හතරකට අධික දූෂණය සම්බන්ධ පැමිණිල්ල,මෝටර් රථ දෙපාර්තමේන්තුවේ රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රියාවලියේ අක්‍රමිකතා පිළිබඳ පැමිණිල්ල , මඩකලපුව ශරියා විශ්ව විද්‍යාලයේ ස්ථාපිත කිරීමේදී සිදුවූ අක්‍රමිකතා පිළිබඳ පැමිණිල්ල , වැල්ලවාය කොඩිකාමන් බොක්ක වනාන්තරයෙ තිරුවානා නිධිය කැණීමේ ව්‍යාපෘතියෙහි අක්‍රමිකතා , කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහා ගොඩනැගිල්ලක් මිලදී ගැනීමේදී සිදුවූ අක්‍රමිකතා , කන්තලේ සීනි කර්මාන්ත ආයතනය ප්රතිව්යුහගත කිරීමේ දී සිදුවූ අක්‍රමිකතා හා එහි තිබූ යකඩ අලෙවි කිරීම සම්බන්ධ අක්‍රමිකතාව පිළිබඳ පැමිණිල්ල, මනංපිටිය වැලි කැණීමේ ව්‍යාපෘතියේ අක්‍රමිකතා ඇතුළු පැමිණිලි විස්සක් භාරදෙනු ලැබීය .

මෙහිදී අදහස් දැක්වූ සිවිල් පුරවැසි අරගල ව්‍යාපාරයේ කැඳවුම්කරු දර්ශන තන්ත්‍රිගේ මහතා –

අද දවසේ අපි තවත් පැමිණිලි විස්සක් දූෂණ විරෝධී පනත යටතේ ස්ථාපිත අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට භාරදෙනු ලැබුවා. අද ඉදිරිපත් කළ පැමිණිලිවලට අදාල මූල්‍යමය පාඩුව දූෂණ අක්‍රමිකතා නාස්තින් වල වටිනාකම රුපියල් කෝටි දහසකට වැඩියි . පැමිණිලි දාහක් ඉදිරිපත් කරන්න අපි කටයුතු කරනවා .දැනට පැමිණිලි පන්සීයකට වැඩි ප්‍රමාණයක් සකස් කරමින් යනවා . ඒ පැමිණිලි 500 තුල පමණක් රටට ට්‍රිලියන පහකට වැඩි මුදලක් අහිමි වී තිබෙනවා . දළ වශයෙන් රටේ එක පවුලකට රුපියල් ලක්ෂ නවයක් දහයක් අතර මුදලක් . මේ මුදල දූෂණයට නාස්තියට අක්‍රමිකතාවය ට ලක් නොවු නා නම් එක ග්‍රාම සේවා වසම කට රුපියල් කෝටි 35 බැගින් රටපුරා දැවැන්ත සංවර්ධනයක් කරන්න තිබුණා . ගම්බද පාසල් වලට ස්විමින් පූල් එකක් එක්ක අංගසම්පූර්ණ පාසලක් , අංගසම්පූර්ණ රෝහලක් , රටේ ජනතාවට උරුම කරන්න තිබුණා . මේ දක්වා ඉදිරිපත් කළ පැමිණිලි සියල්ලම ඉදිරිපත් කළේ රාජ්‍ය බංකොළොත් කල සුදු කරපටි අපරාධකාරයන් වන දූෂිත ඉහළ රාජ්‍ය නිලධාරීන් පිරිසක් සම්බන්ධවයි .

මෙහිදී අදහස් දැක්වූ ජනතා ක්‍රියාකාරීන්ගේ සන්ධානයේ ජාතික සංවිධායක බැදිවැව දියසේන හිමි –

මඩකලපුවේ ඉදිකළ පුද්ගලික විශ්ව විද්‍යාලයක් වන ෂරියා විශ්වවිද්‍යාලය ඉදිකිරීම සම්බන්ධ ක්‍රියාවලියේදී වංචා දූෂණ අක්‍රමිකතා රාශියක් සිදුවී තිබෙනවා .ඒ සම්බන්ධව අපි පැමිණිල්ලක් ඉදිරිපත් කළා . දැන් ජනතා විමුක්ති පෙරමුණ අනුර කුමාර දිසානායක වේදිකා වල් වල පෙන්න පෙන්න යනවා කට උල් කර කර කියනවා අච්චර දූෂණ වුණා මෙච්චර වුණා කියලා .දැන් අතන මෙතන කීය කියා යන්න එපා . මෙතනට ඇවිල්ලා පැමිණිලි කරන්න . අපිට ආරංචියි මේ දූෂණ විරෝධී පනතටත් ජේවීපී එක එතරම් කැමැත්තක් තිබුනේ නෑ කියලා . අරගලය ටත් ඔවුන්ගේ කැමැත්තක් තිබුණේ නැහැ .යන්න එපා කියලයි මුලින් කිව්වේ .ඒත් නිර්පාක්ෂික මිනිස්සු එතනට එකතු වෙද්දි ජේවීපී එක ඇවිල්ල ඒක අයිතිකර ගන්න හැදුවා . අරගලයේදී මිනිස්සු ඉල්ලූවේ හොරාකාපු සල්ලි දෙන්න කියලා. ජේවීපී එකට ඇත්තටම එහෙම වුවමනාවක් තියෙනවා නම් මේක තමයි නීතිය .ජේවීපී ආණ්ඩුවක් එනකන් ඉන්න ඕන නෑ හොරාකාපු සල්ලි ගන්න.ජේවීපී එකේ දූෂණ විරෝධය අලි කෙප්පයක යයිද උන්වහන්සේ වැඩිදුරටත් පැවසීය

Post a Comment

0 Comments