කොටින්ට ආයුධ දීම, 88-89 භීෂණය ගැනත් නඩු දැම්මනම් ආර්ථික ඝාතන කියා කියාවි..

 

ක්‍රිකට් ආයතනය හා ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් නඩු තීන්දු ගැන විපක්ෂය දෙවිදියකට කතා කරන බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

අමාත්‍යවරයා පවසන්නේ තමන්ට අවාසිදායක තීන්දු ලැබුණු විට අධිකරණය විවේචනය කරන විපක්ෂය තමන්ට වාසිදායක තීන්දුවක් ලැබුණු විට එය උළුප්පා දක්වන බවයි.

අධිකරණයෙන් ලැබුනු තීන්දු විවේචනය කිරීමට කිසිවෙකුට කිසිඳු අයිතියක් නොමැති බවද අමාත්‍යවරයා සඳහන් කරයි.

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව අද(17) රැස්විය.

එහිදී විපක්ෂ මන්ත්‍රීවරුන් සිදුකළ ප්‍රකාශවලට පිළිතුරු දෙමින් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මේ බව සඳහන් කළේය.

එහිදී මෙවන් විවාදයක් ඇති විය.

අනුර කුමාර දිසානායක (ජ.ජ.බ)- ගරු කතානායකතුමනි, ආර්ථික ඝාතනය පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් දීලා තියෙනවා. මම කතා කරන්නේ ක්‍රිකට් ප්‍රශ්නය ගැන. ක්‍රිකට් පාලක මණ්ඩලය විශාල අක්‍රමිකතාවල යෙදුණු බවට පාර්ලිමේන්තුව තුළ මෙන්ම ඉන් පිටතත් මහත් ආන්දෝලනයකට තුඩුදීලා තියෙනවා. පාර්ලිමේන්තුවට පැවරී තිබෙන කාර්යය අනුව කෝප් කමිටුව විසින් සියල්ල නොවුනත් යම් කොටසක් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්විය හැකියි. කෝප් කමිටු සභාපතිවරයා ගැන දැන් ප්‍රශ්නයක් ඇතිවෙලා තියෙනවා. ඔහු ආරම්භයේදීම කියන්න තිබුණා තමන්ට ක්‍රිකට් පාලක මණ්ඩලය සමඟ යම් ගණුදෙණුවක් තිබුණා කියලා. ඒක කළේ නැහැ. මේ සභාපතිවරයා කරන කිසිම පරීක්ෂණයක් ගැන පාර්ලිමේන්තුව සෑහීමකට පත්වෙන්නේ නැහැ. ඒ නිසා අඩුම තරමින් මේ පරීක්ෂණය සඳහාවත් වෙනත් සභාපතිවරයෙක් පත්කරන්න කියලා නියෝගයක් දෙන්න. (සභාවේ බාධාකිරීම්)

කතානායක මහින්ද යාපා අබේවර්ධන – මේක විවාදයක් කරගන්න එපා. සභාවේ කටයුතු කරගෙන යමු. (සභාවේ බාධාකිරීම්)

කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර ජයමහ (ස.ජ.බ)- ගරු කතානායකතුමනි, ආර්ථික ඝාතනය ගැන අපි කතා කරලා වැඩක් නැහැ. මොකද ඒ ගැන ශ්‍රේෂ්ඨාධිකරණයව තීන්දුවක් දීලා තියෙනවා. මම ඒ ගැන කතා කරන්නෙ නැහැ. කෝප් කමිටු සභාපතිවරයා තමන්ගේ අසුනේ වාඩිවුණ ඉරියව්ව බැලුවම ඒ කෙලින් හිටියේ ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා. සභාපතිවරයා වාඩිවුණේ දක්ෂිණාවර්ථව අංශක 80ත්-අංශක 115ත් අතර. කෝප් කමිටු සභාපතිවරයා හස්ත සංඥාව දුන්නේ ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයාට.

ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායකඅමාත්‍ය ප්‍රසන්න රණතුංග (ශ්‍රී.පො.පෙ)- ගරු කතානායකතුමනි, ක්‍රිකට් පාලක මණ්ඩලය සම්බන්ධයෙන් දීපු නඩු තීන්දුව ගැන විපක්ෂය කතා කළේ එක විදියකට. ආර්ථික අර්බුද සම්බන්ධ ප්‍රශ්නයේදී තවත් විදියකට කතා කරනවා. නඩුතීන්දු දෙකක් ගැන විපක්ෂය දෙවිදියකට කතා කරනවා. ඒකෙන් වැරදි මතයක් රටට යනවා. එක වෙලාවකදී අධිකරණය විවේචනය කරනවා. තමන්ට වාසිදායක තීන්දුවක් ලැබුණොත් ඒක උළුප්පලා පෙන්වන්න හදනවා. (සභාවේ බාධාකිරීම්)

ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායකඅමාත්‍ය ප්‍රසන්න රණතුංග (ශ්‍රී.පො.පෙ)-  අධිකරණ තීන්දුවට ගරු කරනව කියලා  මහින්ද රාජපක්ෂ මහත්තයත් කියලා තිබුණා. අධිකරණ තීන්දුවක් විවේචනය කරන්න අපි කාටවත් අයිතියක් නැහැ (සභාවේ බාධාකිරීම්)

ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායකඅමාත්‍ය ප්‍රසන්න රණතුංග (ශ්‍රී.පො.පෙ)-  ඔබතුමන්ලා කලබලවෙන්න එපා. කියනදේ අහගෙන ඉන්න. ගරු කතානායකතුමනි, රණසිංහ ප්‍රේමදාස මැතිතුමා එල්.ටී.ටී.ඊ සංවිධානයට ආයුධ දුන්න කියලා ඔප්පු වුණා. හැබැයි කවුරුවත් නඩු දැම්මේ නැහැ. නඩු දැම්මනම් ඒකත් ආර්ථිකයට බලපෑවා කියලා කියාවි. ඒ වගේම 88/89 රජයේ දේපළ ගිණි තියල, ගෙවල්, බැංකු මංකොල්ලකාලා, මිනී මරපු ඒවා ගැනත් නඩු දැම්මනම් ඒවාත් ආර්ථිකයට බලපෑව කියලා කියාවි. ඒ නිසා මේව ගැන වැරදි කතා කියන්න දෙන්න එපා.

Post a Comment

0 Comments