ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් රවට්ටන්න හදයි..

 



ආණ්ඩුව මෙම අය වැය හරහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලද රැවටීමට උත්සහ දරනුයේ මෙරට ජනතාව රවටා අවසන් නිසාදැයි පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා ප්‍රශ්ණ කරයි.

ඒ මහතා මේ බව සදහන්කර සිටියේ පාර්ලිමේන්තුවේ දී අයවැය විවාදයට එක්වෙමිනි.

එහිදී පිවිතුරු හෙළ උරුමයේ නායකයා වැඩිදුරටත් මෙසේ අදහදස් දැක්වීය.

ජනපති රනිල් 2020 හදපු ණය නැති රට කෝ ?

2016 සැප්තැම්බර් මාසයේ 11 දා එක්සත් ජාතික පක්ෂයේ පක්ෂ සම්මේලනය අමතමින් එක්සත් ජාතික පක්ෂයේ නායක වර්තමාන ජනාධිපති එවකට අගමැතිතුමා සුවිශේෂ ප්‍රකාශයක් කළා. ඒ ප්‍රකාශය තමයි එදා රාත්‍රියේ සෑම රුපවාහිනී නාලිකාවකම ප්‍රධාන සිරස්තලය. ඒ ප්‍රකාශය තමයි පසුදා එනම් සැප්තැම්බර් 12 වැනි සදුදා පුවත්පත්වල ප්‍රධාන සිරස්තලය. මොකක්ද එතුමා එදා ප්‍රකාශ කළේ ? 2020 වසර වන විට ශ්‍රී ලංකාව ණය නැති රටක් බවට පත් කරනවා. එතුමා කර්මාන්ත ඇමති කාලේ ඉදන්ම අනාවැකි පළ කරල තියනවා. මෑත කාලයේ එකක් මම මේ ගත්තෙ. මේ ප්‍රකාශය කරලා 2020 වෙනවිට මොකද උනේ. 2017 – 2019 අතර කාල පරිච්ඡේදයේ දී ඩොලර් බිලියන 12.5 ක් ණය ගත්තා. මේ ණය ගෙවන්න වුණේ 2019 පස්සේ ආපු ආණ්ඩුවට. ඒ ණය ගැනීමේ ප්‍රතිඵලයක් විදියට 2020 වසර වෙනවිට ණය නැති රටක් වෙනුවට ණය ගෙවා ගන්ඩ අමාරු රටක් බිහිවෙලා තිබුණා. ශ්‍රේණිගත කිරීමේ ආයතන සියල්ලම ශ්‍රී ලංකාව බරපතළ ලෙස ණය ගෙවීමේ හැකියාව නැති රටක් ලෙස 2022 දී පහත දැම්මා. මේ නිසා ආණ්ඩුවට ණය ගෙවන්න වත් ණය ගන්ට බැරි තත්ත්වයක් ඇති වුණා. අවසන් ප්‍රතිඵලය 2022දී ණය ගෙවා ගන්න බැරුව ශ්‍රී ලංකාව බංකොලොත් රටක් බවට පත්වීමයි.

අර්බූදය ගැන මුල්ම අනතුරු ඇගවීම.

අවාසනාවට අපේ ජනාධිපතිතුමා අනාවැකියක් පළ කළොත් බොහෝ වෙලාවට සිද්ධ වෙලා තියෙන්නේ ඒ අනාවැකි අනිත් පැත්ත. අන්න ඒ නිසා තමයි ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි සුරංගනා කතාවක් කියවනවා වැනි එතුමාගේ අයවැය කතාව අහද්දි මට රට ගැන අනාගතය ගැන මහා බියක් දැනෙන්නට පටන් ගත්තේ. මේ අර්බුදය එන බව අපි කලින්ම කිව්වා. මම සතුටුයි මේ අවස්ථාවේ මා ඇමති මණ්ඩලයේ ඉන්න කාලේ මගේ අමාත්‍ය සගයෙක් වෙච්ච ගරු රමේෂ් පතිරණ ඇමතුමත් මෙතන ඉන්නවා. අපි ආර්ථික අර්බුදයක් එනවා කියලා ආර්ථිකය ගැන සුවිශේෂී සාකච්ඡාවක් ජනාධිපතිතුමන් එක්ක ඉල්ලා ගත්තා. කිහිප වතාවක් කියලා අපට අවස්ථාව ලැබුනේ 2020 ඔක්තෝම්බර් මස 26 වෙනිදා. එදා ජනාධිපතිලේකම්තුමා, භාණ්ඩාගාර ලේකම්තුමා, මහ බැංකු අධිපතිතුමා, විතරක් නෙවෙයි එවකට ආර්ථික කටයුතු රාජඅමාත්‍ය ධුරය දරපු නිවාඩ් කබ්රාල් මැතිතුමත් ආවා. ප්‍රධාන ඉදිරිපත් කිරීම කළේ එතුමා. එදා අපි ඇමති මණ්ඩලයේ දී කිව්වා මේ අනාගතයෙ එන අර්බූදයෙන් මිදෙන්න නම් අපි වහාම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙ සහය ගන්න ඕනි. මොකද ඒ වෙන විට බංගලිදේශය අර්බුදය කලින් දැකලා තමන්ගේ ණය ප්‍රතිව්‍යහගතකරණය කරන්නටත්, තවත් ද්‍රවශීලතා ණයක් ගන්නටත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන යෝජනාවක හිටියා. අපේ ණය ප්‍රතිව්‍යහගතකරණය කළ යුතියි. ඒ වගේම අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබාගත යුතුයි කියලා අපි යෝජනා කලා. නමුත් ඒ යෝජනාව ගැන අවධානය යොමු කළේ නෑ. ඒ වෙනුවට කිව්වේ අපි ගාව දේශීය විසඳුමක් තියනවා කියලා.

මූල්‍ය අරමුදල බිල්ලෙක් ද? දෙවියෙක් ද ?

ඇත්තෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල බිල්ලෙක් වෙනවද ඉටු දෙවියෙක් වෙනවද කියන එක තීරණය වෙන්නෙ අපි ඒ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එක්ක සාකච්ඡා කළ ඇතිකරගන්න ගිවිසුම් අනුව. අපි 2022 මුහුණ දුන්නු අර්බූදයමයි ඉන්දියාව 1991 මුහුණ දුන්නේ. එවකට ඉන්දීය අගමැති නරසිංහ රාවෝ මැතිතුමාගේ උපදෙස් මත මන්මෝහන් සිං මැතිතුමා මහ බැංකු අධිපතිතුමා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එක්ක සාකච්ඡා කරලා සාර්ථක ගිවිසුමක් ඇතිකරගත්තා. එහි ප්‍රතිඵලය ලෝකෙ වටා සිඟා කමින් හිටිය ඉන්දියාව ලෝකෙ පුරාම ණය වෙමින් හිටිය ඉන්දියාව අපේ අර්බුදයේ දී අපට ණය දෙන ප්‍රධාන රට බවට පත්වීම. අද ඉන්දියාව ලෝකයේ හතර වෙනි ආර්ථික බලවතා බවට පත් වෙමින් ඉන්නේ. ඒ වගේම හඳට යානයක් යැවූ හතරවෙනි රට බවට පත් උනා. අද ඉන්දියාව ලෝක ආර්ථික දේශපාලන බලවතෙක් කියන එක ගැන අවිවාදයෙන් පිළිගන්න වා. ඒ හතරගාතෙන් වැටිලා හිටිය ඉන්දියාව අර්බුදය ආශිර්වාදයක් කරගෙන ලෝක බලවතෙක් බවට පත්වුණා.

රුසියාවත් එහෙමයි. 1998 රුසියාව අර්බුදයකට මුහුණ දුන්නා. රුසියාවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි සහය අරගෙන අර නැති වෙච්ච කීර්තිය නැවත ලබාගෙන රුසියාව අද ලෝක බලවතෙක් ලෙස යළි පැමිනෙන්නට හැකියාව ලබාගෙන තියෙනවා. එනිසා මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගනුදෙනුව බිල්ලෙක් සමඟ කරනවද එහෙම නැත්තං ඉටු දෙවියන් සමග කරනවා ද යන්න තීරණය වෙන්නේ ඒ සංවිධානය අනුව නෙවෙයි. අපි ඒ සංවිධානයත් එක ඇතිකරගන්න කොන්දේසි අනුව.

අර්බූදය වෙනුවෙන් බෙල්ල දීම

මේ අර්බුදයේ අපිට තිබුණු ලොකුම ප්‍රශ්නයක් තමයි අපේ ආනයන සඳහා ණය ගෙවන්න ඩොලර් තිබ්බෙ නෑ විතරක් නෙවෙයි අත්‍යවශ්‍ය වන ආනයන කරගන්නත් ඩොලර් නෑ. අපේ ආනයන වියදමින් වැඩිම කොටස යන්නේ අපනයන ආදායමෙන් 25%ක්ම වෙන්කරන්න වෙන්නේ ඉන්ධන ආනයනය සඳහා. අර්බුදය ගැන මට දැනුන නිසා තමයි මම ඇමති මණ්ඩලයේ දී යෝජනා කළේ තෙල් ඉල්ලුම පාලනය කර ගත්තෙ නැත්තං මේ දැවැන්ත මුදල සෙවීම දුෂ්කර වෙනවා කියන එක. ඒ යුගයේ මිලත් වැඩියි ඉල්ලුමත් වැඩි. එහි ප්‍රතිඵලයක් වශයෙන් මට මතක විදිහට 2021 පෙබරවාරි මාසයේ ඩොලර් මිලියන 500 ක් විතර ගියා තෙල් ආනයනය සදහා. ඒ නිසා අපි යෝජනා කළා තෙල් ඉල්ලුම පාලනය කළ යුතුයි. ඒ සඳහා මිල වැඩිකළ යුතුයි. සරල ආර්ථික විද්‍යාත්මක න්‍යාය. ඒක අපි කරන්න යද්දී ජනතාවගෙන් විරෝධයක් එනවා නම් අපි ජනතාව ඉදිරියට ගිහිල්ලා කියමු අපි දැවැන්ත විදේශ විනිමය අර්බූදයක් පාමුල ඉන්නේ.මෙය කළමනාකරණය කර ගන්ඩ අපිට ඉන්ධන මිල වැඩි කරන්න වෙනවා. ඒ නිසා අපිට අකමැත්තෙන් උනත් මේ දේ කරන්න වෙනවා ඒක නොකර හිටියොත් ඊට වඩා ලොකු අර්බූදයක අපි හිර වෙනවා කියලා.

මම ජීවන වියදම් කමිටුවේදී ජනාධිපතිතුමාටත් අගමැතිතුමාටත් කිව්වා මම සූදානම් ජනතාව ඉදිරියට ගිහින් කරුණු කියන්න. බැනුම් අහන්න වෙනවා නම් බැනුම් අහන්න මම ලෑස්තියි. එදා ඩලස් අලහප්පෙරුම ඇමතිතුමන් ඉතාම සංවේදී කිව්වා සාමාන්‍යයෙන් ඇමතිවරු බැනුම් අහන්න වෙන දේවල් මග අරිනවා. මෙතුමා ආණ්ඩුව වෙනුවෙන් රට වෙනුවෙන් බෙල්ල දෙන එක අපි අගය කරනවා කියලා.

ආණ්ඩුව බේරාගන්න ගිහාම ආණ්ඩුවෙන්ම ප්‍රහාරයක්

මම ජනාධිපතිතුමාට කිව්වා මම විපක්ෂයට මූණදෙන්නම්, ජනතාවට කරුණු කියන්නං, මට ඔබතුමන්ගෙන් වෙන්න ඕනේ එකම එක දෙයයි. ආණ්ඩුවේ මන්ත්‍රිවරුන්ට කියන්න රට බේරගත්තොත් තමයි ආණ්ඩුව බේරෙන්නේ. ඒ නිසා ආණ්ඩුවේ සහයෝගය ලබාදෙන්න. මට සහයෝගය විදිහට අවශ්‍ය නිහඬතාවය. මම තනියම විපක්ෂයට මුහුණ දෙන්නම් කියලා. අන්තිමට 2021 ජුනි මාසෙ 11 වෙනිදා මම මාධ්‍ය හමුවක් තියලා විදේශ විනිම අර්බුදය ගැන රට කරුණු කියලා නුදුරු දිනෙක පෙට්‍රල් සහ ඩීසල් මිල වැඩි කරන්න සිද්ධ වෙන කිව්වා. එහෙම කලින් ඇවිල්ල ඇමතිවරුන් කියන්නෑ. මූණ හංගගෙන ඉදලා නිලධාරීන්ට කියන්න බාර දෙන්නේ අසතුටුදායක තීන්දු. අපි ජනතාවට කරුණු පැහැදිලි කලා. එදා රාත්‍රියේ රුපියල් 7කින් ඩීසල් වැඩි කලේ. රුපියල් විස්සකින් පෙට්‍රල් වැඩි කලේ. සිය ගණන් නෙමෙයි. හැබැයි අවාසනාවට විපක්ෂයට කලින් මට ගහන්න පටන් ගත්තා ආණ්ඩුවෙම උදවිය.

මම අවසානයේ දී ආණ්ඩුවට කිව්වා මිළ වැඩි කරලා ඉල්ලුම පාලනය කරන්න සූදානම් නැත්තං අපි සලාක ක්‍රමයක් ගෙනල්ලා අපි ඒ සැපයුම් කළමනාකරණ කරමු කියලා. මම අමාත්‍යමණ්ඩල පත්‍රිකා 11 ක් දාලා තියෙනවා. රමේෂ් පතිරණ ඇමතිතුමා ඉන් තුනක් දැකලාවත් නෑ. මොකද ජනාධිපතිතුමා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කලේවත් නෑ. හැබැයි අපේ අමාත්‍ය මණ්ඩල ලේකම්තුමා අත්සන් කර බාරගෙන තියෙනවා. සියළු පිටපත් මං ගාව තියනවා. අමාත්‍ය මණ්ඩල පත්‍රිකා 11 මම මේ අර්බූදය පැහැදිලි කර ඉදිරිපත් කර තිබෙනවා. නමුත් ඇහුම්කන් දුන්නේ නෑ.

විසඳුම ප්‍රමාද කලේ ඇයි ?

අවසානයේදී මේ ප්‍රශ්නෙ විසඳුවේ කොහොමද ? මම ඉදිරිපත් කරපු යෝජනා දෙක ක්‍රියාත්මක කරලා. රුපියල් 121ට තිබුණු ඩීසල් ලීටරය 450 දක්වා වැඩි කරලා. ඉන් ඉල්ලුම් කලමනාකරනය සිදුකලා. කාරෙකට ලීටර 20යි ත්‍රීවීලයට 5යි ආදි වශයෙන් සලාක ක්‍රමයක් හඳුන්වා දීලා සැපයුම කළමනාකරණය කලා. අනේ එදා කිව්ව දවසේ ඒක කරන්න අවසර ලබාදුන්නා නම් 26 දෙනෙක් පෝලිම් වල මිය යන්නේ නෑ නේද ? ආන්ඩුපක්ෂ මන්ත්‍රීතුමන්ලාගේ ගෙවල් හැත්තෑ තුනක් ගිනි ගන්නේ නෑ නේද ?

රමේෂ් පතිරන අමාත්‍යතුමන්ට මතක ඇති 2021 නොවැම්බර් මාසය. මම ලෝකෙ උදාහරනයට අරගෙන කිව්වා මේ බලශක්ති අර්බුදය උග්‍ර උනාම මිනිස්සු පාරට බැහැලා ඇමතිවරුන්ට පහර දෙන තත්ත්වයක් යුරෝපය ඇතිවෙලා තියෙනවා. අපි ඒ පුපුරන්ට තියෙන විදේශ විනිම බෝම්බය මත වාඩි වෙලා මොකුත් නොකර බලා සිටියොත් ලංකාවටත් වෙන්නෙත් ඒ ඉරණම තමයි කියලා කිව්වා. මට මතකයි ඊට පහුවදා ප්‍රසන්න රණතුංග ඇමතිතුමා මන්ත්‍රී කණ්ඩායමට මේ කාරණේ කිව්වා ගම්මන්පිල ඇමතිතුමා මෙන්න මෙහෙම කතාවක් කිව්වා කියලා. ඒක ඉරිදා දිවයින පුවත්පතේ දේශපාලන ඕපාදූප තීරුවෙත් ගිහින් තිබුණා. නමුත් අවාසනාවට ඇහැව්වා මිසක් යෝජනා ක්‍රියාත්මක කලේ නෑ. එතුමන්ලා ගාව තියෙනවා කිව්වා ස්වදේශීය විසඳුම. ඒක කරාද නැද්ද මං දන්නෙ නෑ. අපේ යෝජනා ක්‍රියාත්මක කරන්න ඉඩ දුන්නෙ නෑ.

සිරිලක දේ සිරි සැප දේ යැයි එවක ආණ්ඩුව නොපිළිගනී

ඊට පස්සේ අපි අමාත්‍ය මණ්ඩලයට වරින්වර කිව්වා මේ ණය ප්‍රථිව්‍යහ ගතකරන්නේත් නැත්තං, ඉන්ධන කළමනාකරණය කරන්නෙත් නැත්නම් අර්බූදය එන එක වළක්වන්න බෑ. අපි එහෙම නම් අත්‍යාවශ්‍ය නොවන ආනයන සීමා කරලා සීමිත විදේශ විනිමය තෙල්, ගෑස්, ගල් අඟුරු ඒ වගේම ඖෂධ වෙනුවෙන් වෙන් කරමු. අනවශ්‍ය ආනයන සීමා කරන ගමන් හැකි පමණ දේශීය නිෂ්පාදන වැඩි කරමු. හදන්න පුළුවන් හැමදේම හදමු. වවන්න පුළුවන් හැමදේම වවමු. සිරිලක දේ සිරි සැප දේ. ගන්න අපේදේ කියලා අපේ ජනතාවට කියමු. අපි යෝජනා කලා. නමුත් මේවා ක්‍රියාත්මක කරන්න ආණ්ඩුව උනන්දුවක් පෙන්නුවෙ නෑ.

මැයි 9 ගැන අනාවැකිය

වැඩේ වරදින බව දැක්ක නිසා මට සිද්ධ වුණා ඇමතිමන්ඩලය ඇතුළෙ කිව්ව දේවල් මට සිද්ධ වුණා නොවැම්බර් මාසේදී, දෙසැම්බර් මාසෙදී මාධ්‍ය හමුවලදී කියන්නේ මේ දේවල් කරේ නැත්තං නුදුරු අනාගතයේ ලොකු අර්බුදයක් එනවා කියලා. නමුත් ආණ්ඩුව ඇහුම්කන් දුන්නේ නෑ. අපි පක්ෂ 11 එක්වෙලා එන්න නියමිත අර්බූදය මොකක්ද ඒක මග හරින්ට ගත යුතු ක්‍රියාමාර්ග මොනවාද කියලා මුළු රටම හරිමගට කියලා අපි පොත් පිංචක් හැදුවා. වැඩපිළිවෙළක් හැදුවා. ඒක ජනගත කරන්න 2022.03.22 අපි සම්මණ්ත්‍රනයක් තිබ්බා. ඒ රැස්වීමේදී මගේ කතාව මට මතකයි දෙරණ හිරු නාලිකාවල ප්‍රධාන සිරස්තලයක් විදිහට ගත්තා. මම කිව්වා නුදුරු දවසක මිනිස්සු පාරට බැහැලා මැතිඇමතිවරුන්ට පහර දෙනවා. ඒ දිනේ එන එක වලක්වගන්න නං මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න කියලා. මාර්තු 2 කිව්වේ, එතන ඉදන් හරියටම මාස දෙකයි සතියක් යද්දි සැබෑ නොවුනානම් හොද ඒ රුදුරු අනාවැකිය මහපොළොවේ ඇත්තක් බවට පත්වුණා. ඒ මැයි මස 9 වෙනිදා?

වගකීම එක් ආණ්ඩුවකට විතර ද ?

මේක සිහිපත් කළේ මේ සභාවේ මේ අර්බුදය ඇතිවුණේ ඇයි ? ඇති කලේ කවුද? වගකිව යුතු කවුද ? කියලා සංවාදයක් ඇති වුණා. මේ අර්බුදයට ආදායමට වඩා වියදම වැඩියෙන් අය වැය ඉදිරිපත් කර පරිභෝජනය සදහා ණය ගත්ත සෑම ආණ්ඩුවක්ම වගකිව යුතුයි. ඒක පැහැර හරින්න බෑ. 2019 පත්තුවූ ආණ්ඩුව මේ අර්බුදය එන බව දැක එක මගහැරීමට කටයුතු නොකිරීම පිළිබඳ තමයි ඒ ආණ්ඩුවට වගකීමක් පැවරෙන්ණේ. මේ ණය අර්බුදයට දායක වෙද්දී ඒ ආණ්ඩුව නෙවෙයි ඊට කලින් තිබ්බ ආණ්ඩු තමයි ණය අරගෙන මේ අර්බූදයේ මේ රට හිර කළේ.

ජාත්‍යන්තරයත් රවටන්ට හදන ආණ්ඩුව

මේ අයවැය දැවැන්ත වංචාවක් තියෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කිව්වා 2023 මාර්තු 31 වන විට විට රාජ්‍ය ආදායමේ බදු ආදායම රුපියල් බිලියන 650 ක් විය යුතුයි කියලා. ආණ්ඩුවට මේ ඉලක්කයට ළඟා වෙන්න බැරි වුණා. ජූලි 31 වන විට රුපියල් බිලියන 1300 ක බදු ආදායමක් රැස්කළ යුතුයි කිව්වා. ඒ ඉලක්කයට යන්නත් බැරිවුනා. ආණ්ඩුව 2500 ට කිට්ටු වෙන්න පුළුවන් ගානක් සොයාගනී. 2024 වර්ෂයේ ඇස්තමේන්තු ගත බදු ආදායම රුපියල් බිලියන 3820ක්. ඒත් නැත. එහෙනම් මේ බදු ආදායම එන්නේ කෝමද? එහෙමනං ආර්ථිකය දැවැන්ත ප්‍රසාරණයක් ඇති වෙන්න ඕනි.එවැනි දැවැන්ත ප්‍රසාරණයක් කිසිසේත්ම විය නොහැක්කක්. එහෙනම් මේක අඩංගු කලේ ඇයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට තමන් ලබා දීල තියන ඉලක්ක සපුරා ගන්නවා කියලා ඇස්බැන්දුමක් කරන්න. මෙච්චර කල් අපි විතරයි රැවැට්ටුවේ. මේ අයවැය හරහා නං ජාත්‍යන්තරයත් රවටන්ට සූදානම් වෙනවා. ඒ රට රවටා අවසන් නිසා වෙන්න ඇති.

පාර්ලිමේන්තුවේ මැජික් පාඩමක්

මෙහි යෝජනා කරලා තියෙනවා ආනයන බදු ආදායම දෙගුණයක් වෙනවා කියලා. 2022 බිලියන 50 ක් වූ 2023 බිලියන 88 වුණු ආනයන බදු ආදායම බිලියන 175 ක් වෙනවලු. කෙලින්ම දෙගුණයක් වෙලා. හැබැයි ජනාධිපතිතුමා එදා අපිට දුන්න ආර්ථික ඇගයීමේ සංඛ්‍යාලේඛන අනුව 2023 සැප්තැම්බර් 30 වන විට අපේ ආනයන වියදම 2022 ට සාපේක්ෂව ඩොලර් බිලියන 1.7 කින් අඩු වෙලා. මේ දවස්වල ආර්ථිකය රිවස් යන්නේ. ඇයි ලෝක ආර්ථික අර්බුදයක්. අපේ අපනයන පහත වැටෙනවා. ඉන් ආදායම් අඩුවෙනවා. එවිට වියදම් කිරීමේ හැකියාව අඩුවෙනවා. වියදම් කිරීමේ හැකියාව අඩු වෙද්දි භාණ්ඩවලට ඇති ඉල්ලුම අඩු වෙනවා. එවිට ආනයන අඩුවෙන පසුබිමක ආනයන බදු ආදායම වැඩි වෙන්නේ කොහොමද? බඳු ප්‍රතිශතයක් වැඩි කරන්නෙත් නැතුව, අලුත් බදු හදුන්වා දෙන්නෙත් නැතුව බදු පරාසය වැඩි නොකර ආනයන බදු ආදායම දෙගුණයක් වෙනවා කියලා කියන්නේ කොහොමද ? මා මිත්‍ර ගරු සෙහාන් සේමසිංහ ඇමතිතුමා එතුමාගේ පිළිතුර කතාවේදී අපි නොදන්නා මේ මැජික් එක කරන්නේ කොහොමද කියල කියලා අපිට කියා දේවි.

ණයට තෑගි බෙදන නත්තල් සීයා

ණය අර්බුදයක සිර වෙලා ඉන්න රටක වෑයම වෙන්න ඕනි වියදම අඩු කර ගැනීම. නමුත් මේ අය වැයේ නත්තල් සීයා ආවා වගේ තමයි අවශ්‍ය තැනට, අනවශය තැනට හැම තැනටම වියදම් කරලා තියෙනවා. සෑම උසස් පෙළ සමත් දරුවෙකුටම සරසවි යන්න අවස්ථාව උදා කරන්නට සරසවි විශාල ගණනක් ආරම්භකරන බව ජනපතිතුමන් කියනවා. මේ වචන හිත සතුටු කරවන පුවතක්. හැබැයි පාරට බැස්සාම විශ්වවිද්‍යාල වලට කතිකාචාර්යවරුන් නෑ. ඉන්න අය මේ බදු බර දරාගන්න බැරිව රට හැර යනවා. අද විශ්වවිද්‍යාලවල සමහර පීඨ වහල දාන්න වන තත්ත්වයක් ඇතිවෙලා තියෙනවා කථිකාචාර්යවරුන් නැතිව. එතකොට මේ නව ගොඩනැගිලි ටික හදලා කොයින්ද කථිකාචාර්යවරු ගේන්නේ. ඒ වගේම තමයි ලෝකයේ වෙනත් කිසිම රටක මං දැකලා නැති සංගමයක් මෙරට තියෙනවා. ඒ තමයි රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමය. ඔවුන් උපාධියට රස්සාවක් දියව් කියලා පෙළපාලි යන පසුබිමක එවැනි අයගේ ප්‍රශ්න විසඳන්න දැවැන්ත රාජ්‍ය සේවයක් හදාගෙන දරාගන්ඩ බැරි වැය බරක් හදාගෙන ඉන්න පසුබිමක ආණ්ඩු කළ යුත්තේ තව තවත් උපාධි කඩ විවෘත කිරීමද එහෙම නැත්තං අලුත් විශ්වවිද්‍යාල බිහිකිරීමට වැය කරන රජයේ මුදල කර්මාන්ත ක්ෂේත්‍රයට යොමු කරලා වැඩි වැඩියෙන් රැකියා අවස්ථා ජනිත කරලා විරැකියාවෙන් පෙළෙන අර උපාධිධාරීන්ට රැකියා ලබා ගන්න අවස්ථාවක් දෙන එකද ?

අයවැයෙන් ආර්ථික අර්බූදය උත්සන්න වෙන හැටි ?

ආනයනය ප්‍රශ්නෙටත් විසඳුම්, රැකියා ප්‍රශ්නෙටත් විසඳුම්, වෙන්නේ දේශීය නිෂ්පාදනය වැඩි කිරීමෙයි. අපි මේක හැමදාම කියනවා. මම දන්නවා අපේ රමේෂ් පතිරණ ඇමතිතුමන් කර්මාන්ත ඇමති විදිහට දැවැන්ත උත්සාහයක් දැරුවා දේශීය කර්මාන්තවල නිෂ්පාදනය වැඩි කරන්න. ඒ සදහා ස්වර්ණමය අවස්ථාවක් ආවා ගිය අවුරුද්දේ ආනයන සීමාවන් එක්ක. ජාත්‍යන්තරයේ තරගකාරීත්වයට සරිලන ප්‍රමිතීන් සහ මිල සහිත භාණ්ඩ අවුරුද්දකින් මාස හයකින් නිපදවන්න බෑ. ඒකට අවුරුදු පහකවත් ආරක්ෂාව දෙන්ඩ ඕනෑ. පුංචි දරුවෙක් නෙවෙයි පුංචි කුරුලු පැටියෙක් වුණත් අම්මා පුංචි කාලයේ බලා ගන්නවා. අපේ දේශීය කර්මාන්ත යම් කාලයක් ආණ්ඩු විසින් රැක බලා ගත යුතුයි. ඒක අපි නෙවෙයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් පිළිඅරන් තියෙනවා. ඒ නිසා තමයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ගිවිසුමේ කියනවා වසර 4ක් පුරා ක්‍රමානුකූලව ආනයන සීමා ඉවත් කළ යුතුයි. අවුරුදු හතරෙන් කරන්න කිව්ව වැඩේ අපේ ආණ්ඩුව මාස හතරින් කරනවා. ඊට පස්සේ අද මොකද කරන්නේ. පිටරටින් බඩු ගේනවා. මේ බඩු ටික ට අවශ්‍ය ඩොලර් ටික ණයට ගන්නවා.

අනාගතය අපේ පුංචි දරුපැටවුන්ට පොලියත් සමග මේ ඩොලර් ණය ගෙවන්න සිදුවෙනවා. ණය අර්බුදය තීව්‍ර කරන තැනකට මේ අයවැය රට තල්ලු කරමින් ඉන්නේ.

ආණ්ඩුවට ඇසෙන්නේ උතුරේ දුක විතරද ?

අතුරුදන් වූවන්ට වන්දි ගෙවන්න යෝජනාවක් තියෙනවා. හොඳ යෝජනාවක්. කිසි විරෝධයක් නෑ. හැබැයි මේක සීමා කරල තියෙනවා උතුරු සහ නැගෙනහිර දී අතුරුදන් වූවන්ට. ලොකුම බොරුව කිව්ව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්ගේ සංඛ්‍යාලේඛන අනුවත් උතුරේ අතුරුදන් වුණා කියන්නේ 40,000ක්. හැබැයි 88 89 භීෂණ සමයේ දකුණේ අතුරුදහන් වූ බවට නිල සංඛ්‍යාලේඛන තියෙනවා 67 000 ක්. මේ අය මිනිස්සු නෙවෙයි ද ? මේ අතුරුදන් වූවන්ගේ දෙමව්පියන්ට බිරිඳට දරුවන්ට වේදනාවක් ආර්ථික ප්‍රශ්නයක් ඇතිවෙන්නේ නැද්ද ? ඔවුන්ට වන්දිය නොලැබෙන්නේ ඔවුන් උතුරු නැගෙනහිර ජීවත් නොවූ නිසාම විතරක් නේද ? ඒ නිසා මේ මහ පොළොවේ උපන් සෑම පුරවැසියෙකුට ඒ අයිතිය සමානව දිය යුුතයි. නිසා මං යෝජනා කරනවා ආණ්ඩුවට උතුර-නැගෙනහිර අතුරුදන් වූවන් ට ලබාදෙන සහනය ඒ විදිහටම දකුණේ ජනයා අතුරුදන් වූවන්ටත් ලබාදිය යුතුයි කියලා. එහෙම නැත්නම් මේ ආණ්ඩුව ජාතිවාදී ස්වරූපයෙන් ප්‍රාදේශීයෙවාදී ස්වරූපයෙන් කටයුතු කරනවා කියන එක ලෝකෙට පේනවා කියන එකත් අපි ආණ්ඩුවට සිහිපත් කරනවා.

බුදුන්ටත් නිගා කල ජනපතිගේ අයවැය කතාව

ජනාධිපති තුමා අයවැය කතාව පටන් ගත්තේ සාමඤ්ඤඵල සූත්‍රය උපුටා දක්වමින් කෙනෙක් ණය ලබාගත යුත්තේ ආයෝජනයට මිස පරිභෝජනයට නෙවෙයි කියලා. බුදුහාමුදුරුවෝ එහෙම දේශනා කල බව ඇත්ත. අයවැය පුරාම තියේනනේ කුමක්ද ? පාරිභෝජනය සදහා දැවැන්ත ලෙස ණය ගැනීම. දැවැන්ත අයවැය පරතරයක්. රුපියල් ට්‍රිලියන 3800වැය. ඒ මදිවට තවත් බිලියන 213ක් මේ පාර අයවැය යෝජනා හරහා වැඩිකරා. 1947 ජේ ආර් ජයවර්ධන මැතිතුමා ඉදිරිපත් කළ අයවැය කතාවේ ඉඳන්ම අයවැය යෝජනාවල තිබ්බේ ආදායම් යෝජනා. මුලින්ම අය වැය ඉදිරිපත් කරණවා. හිඟ අයවැයක්. ඒ කියන්නේ ආදායමට වඩා වියදම වැඩි අයවැයක්. අයවැය කතාවෙන් කරන්නේ ඒ හිඟය පියවා ගැනීමට යෝජනා ඉදිරරිපත් කිරීම. පසුකාලයේ ඒ කතාවට දේශපාලන රසය එක්කරන්න අවශ්‍ය නිසා දේශපාලන වාසි එකතු කර ගන්ඩ අවශ්‍ය නිසා රසවත් වියදම් යෝජනා වැය ඇස්තමේන්තුවට නොදමා එදාට ඉදිරිපත් කරන්න දාගත්තා. බදු විතරක් කියන එක දේශපාලන වශයෙන් පාඩුයිනේ.

මෙදාපාර ඉතිහාසයේ ප්‍රථම වතාවට වැය යෝජනා පමණයි තිබුණේ. අය යෝජනා එකම එකක් වත් නෑ. ඒ කියන්නේ මේ දැවැන්ත අයවැය පරතරය රුපියල් ට්‍රිලියන 3000 සකට වැඩි අයවැය පරතරයට තවත් එකතු කරලා ඒමදිවට ඒ සියල්ලම ණයට ගැනීමට යෝජනා කළ තියෙන්නෙ. එහෙමනං සාමඤ්ඤඵල සූත්‍රයෙහි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේට අනුව කටයුතු කර තියෙනවද? නැද්ද ?

ජනාධිපතිතුමා කිව්වේ බුදුන් වහන්සේ දෙසුවේ එසේය. අපි කටයුතු කරන්නේ මෙසේය. බුදුන් වහන්සේ කියන කියන විදිහට කටයුතු කරන අපි නං ලෑස්ති නැතිය කියලා බුදුන්වහන්සේටත් කොකා පෙන්නූ අයවැයක් විදියටයි මේ අයවැය අපි දකින්නේ. සමහරු ඉන්නවා පාර පන්සිල් පද පහම රකින්නේ නෑ. මේ ලංකාවෙ ඉන්නවා හොඳ බේබද්දො. නමුත් ඒ කවුරුවත් කතාවක් කරලා කියන්නේ නෑ බුදුහාමුදුරුවන් නම් කිව්වා සුරා මේරය මච්ඡපමා කියලා. හැබැයි අපි නම් හවසට කරටි කැඩෙන්න ගහනවා කියලා. එහෙම කියලා බුදු හාමුදුරුවන්ට අපහාස කරන්නේ නෑ කවුරුවත්. මෙතැන සාමඤ්ඤඵල සූත්‍රයේ කිව්වේ මෙසේය හැබැයි අපි නං කරන්නෙම මෙසේ කියලා සම්පූර්ණයෙන් බුදුහාමුදුරුවන්ට නිගාදෙන විදිහටයි එතුමා එම අය වැය ඉදිරිපත් කළේ. එතුමා මේ ණය ගැනීමට අපවත් සම්බන්ධ කරගත්තා. රුපියල් බිලියන 3500 තිබ්බ ණය ගැනීමේ සීමාව 7350 ඉහල දාලා තියෙන්නෙ පාර්ලිමේන්තුවට අනුමත කරලා දෙන්න.

වෘත්තීය සමිතිවල වෙනස්විය යුතු සටන් පාඨ

අපේ රටේ වෘත්තී සමිති ගැනත් කියන්න ඕන. මම මුලින්ම ආණ්ඩුවට දොස් කියනවා අර්බූදය ඇත්ත ජනතාවට කියලා මේ තිත්ත ඇත්තට ලෑස්ති කරලා දේශීය නිෂ්පාදනය වැඩි කිරීමේ කිසිම වැඩපිළිවෙළක් ආණ්ඩුවට නැති බව තමයි ඒ බංකොලොත්භාවය තමයි අයවැයෙන් ප්‍රසිද්ධ කළේ. ප්‍රදර්ශනය කළේ.

අපේ වෘත්තිය සමිතිත් මේ ආර්ථික අර්බූදය ගැන මෙලෝ හසරක අවබෝධයක් නෑ කියලා ප්‍රදර්ශනය කරමින් මේ අර්බුදය මැද රුපියල් 20,000 ක වැටුප් වැඩිවීමක් ඉල්ලලා ඇති වැඩේ මොකක්ද ? ආණ්ඩුවට තියෙන්නේ තව ණයක් අරගෙන 20 000 කින් වැටුප් වැඩි කරන එක. ඒ ණය දේශීය වශයෙන් ගත්තොත් රටේ පොලී අනුපාත ඉහල යනවා එහි ප්‍රතිඵලයක් විදිහට උද්ධමනය ඉහල යනවා. සල්ලි අච්චු ගහලා දුන්නොත් මුදල් සංසරණය වැඩි වෙනවා එහි ප්‍රතිඵලයක් ලෙස උද්ධමනය වැඩි වෙනවා. විදේශීය ණයක් අරන් දුන්නොත් ණය ගෙවද්දී විදේශ විනිමය අනුපාතය ඉහළ යනවා උද්ධමනය වැඩි වෙනවා. ණයට අරන් පඩි වැඩි කරල ඇති වැඩක් නෑ. මොකද පඩි වැඩි කරාට එහි ප්‍රතිඵලයක් විදියට උද්ධමනය ඇතිවෙනවා නම් අවසානයේදී කලින් වැටුපට ගත්ත භාණ්ඩ ප්‍රමාණය වත් මේ වැටුප් වැඩිකිරීමෙන් ලබා ගන්න බෑ. එහෙමනං වෘත්තීය සමිති නායකයෝ තේරුම් ගත යුතුයි මේ ආර්ථික අර්බූදය මැද පඩි වැඩි කරව් කියලා පඩි වැඩි කරගත්තත් වැඩක් නෑ. වෘත්තිය සමිති නායකයෝ පඩි වැඩි කරමු කියලා නෙවෙයි ආණ්ඩුවට බලපෑම් කළ යුත්තේ. රාජ්‍ය ආදායම වැඩි කරව් කියලා. බදු පැහැර හරින්නන්ට දඩුවම් කරව් කියලා. දේශීය නිශ්පාදනය වැඩි කරව් කියලා. අන්න එහෙම කලොත් විතරයි සැබෑ පඩි වැඩිවීම වෙන්නේ. මූර්ත ආදායම වර්ධනයට අවශ්‍ය පසුබිම සකස් කරගන්න පුලුවන් වෙන්නේ. ඒ නිසා ජනතාවට බොරු කරමින් ජනතාව අඳුරෙන් අඳුරට ගෙන යමින් මේ රට ණය බරෙන් තවදුරටත් මිරිකනවා වෙනුවට ණය අර්බුදයෙන් ගොඩ ඒමේ සැබෑ අයවැයක් කරා යමු යි කියන එක ආණ්ඩුවටත් ජනතාවටත් සිහිපත් කරනවා.

Post a Comment

0 Comments