ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ක්‍රිකට් අතුරු කමිටුවක් පත්කිරීම හරිද වැරදිද කියා සොයා බැලීමට කැබිනට් මණ්ඩලයේදී කමිටුවක් පත් නොකළ බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
අමාත්‍යවරයා පවසන්නේ ක්‍රිකට් පාලක මණ්ඩලය විසුරුවා හැරීම සම්බන්ධයෙන් ජනතාවගේ ප්‍රසාදයක් තියෙන බව පිළිගන්නා බවයි. එමෙන්ම ආචාර්ය.එන්.එම් පෙරේරා මහතාගේ සිට බොහෝ දේශපාලනඥයන් මෙරට ක්‍රීඩාව දියුණු කිරීමට කැපවී කටයුතු කළ බවද අමාත්‍යවරයා අවධාරණය කළා.
පාර්ලිමේන්තුව නියෝජ්‍ය කතානායක, අජිත් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (7) රැස්විය. එහිදී විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා කළ ප්‍රකාශයකට පිළිතුරු දෙමින් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මේ බව සඳහන් කළේය.
එහිදී මෙවන් විවාදයක් ඇතිවිය.
විපක්ෂනායක සජිත් ප්‍රේමදාස – මම අද උදේ ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන ප්‍රකාශයක් කළා. දැන් මේ වෙනකොට අභියාචණාධිකරණය තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මෙහෙම ශ්‍රී ලංකා ක්‍රිකට් එකට යන්න පුළුවන්ද?. මේ ආණ්ඩුව ඇතුලෙම කචල්. ජනාධිපතිවරයා එක පැත්තකට අදිනවා. ක්‍රීඩා ඇමතිවරයා යම් තීන්දුවක් ගන්නවා. ඔහුට ඒ තීන්දුව ගන්න බලයක් තිබෙනවා. අතුරු කමිටුවේ සංයුතිය පිළිබඳව ප්‍රශ්න ඇති. ඒක වෙනම කතාවක්. නමුත් ක්‍රීඩා ඇමතිවරයා කටයුතු කරල තියෙන්නේ නීතියට අනුවයි. මේ විදියට ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව ඉදිරියට යන්නෙ කොහොමද? අපිට මේ ගැන ප්‍රකාශයක් ඕන. ක්‍රීඩා ඇමතිවරයා පාර්ලිමේන්තුවට ඇවිල්ලා මේ ගැන පැහැදිලි ප්‍රකාශයක් කරන්න ඕන. ජනාධිපතිවරයා ඊයේ කැබිනට් අනුකමිටුවක් පත්කරල තියෙනවා. ඒ ක්‍රීඩා ඇමතිවරයා ගත්ත තීන්දුව හරිද වැරදිද කියල බලන්න. මේ විහිළු මොනවද? මමත් ක්‍රිකටර් කෙනෙක්. අපිට ක්‍රිකට් ගැන ලොකු ආදරයක් තියෙනවා. ජනාධිපතිවරයාත්, ක්‍රීඩා ඇමතිවරයාත් මේ ගැන රටට කියන්න ඕන. අපි 225ම එක තැනකට ඇවිල්ලා ක්‍රිකට් ක්‍රීඩාව ගැන එකඟතාවයකට එමු. පළමුව ක්‍රිකට් ක්‍රීඩාවෙන් දේශපාලනය ඉවත් කරන්න ඕන.
නියෝජ්‍ය කතානායක, අජිත් රාජපක්ෂ- ඒ ගැන ක්‍රීඩා ඇමතිතුමා දැනුවත් කරන්නම්.
ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ප්‍රසන්න රණතුංග (ශ්‍රී.පො.පෙ) – ගරු නියෝජ්‍ය කතානායකතුමනි, විපක්ෂනායකතුමා කතා කළේ උසාවිය ලබාදුන් තීන්දුවක් ගැනයි. මම ඒ අධිකරණ තීන්දුව ගැන කතා කරන්නේ නැහැ. ක්‍රිකට් පාලක මණ්ඩලය විසුරුවා හැරීම සම්බන්ධයෙන් ජනතාවගේ ප්‍රසාදයක් තියෙන බව අපි පිළිගන්නවා. ක්‍රිකට් අතුරු පාලක මණ්ඩලයේ සාමාජිකයන් ගැන අපි කතා කරන්නේ නැහැ. කැබිනට් රැස්වීමෙදිත් මේ ගැන සාකච්ඡා කළා. ජනාධිපතිතුමාත්, ඇමතිතුමාත් මේ ගැන සාකච්ඡා කරල තීන්දුවක් ගන්නා බව එහිදී කිව්වා. එහෙම නැතුව ඇමතිතුමා ගත්ත තීන්දුව හරිද වැරදිද කියල හොයල බලන්න කමිටු පත්කළේ නැහැ.
විපක්ෂයේ ප්‍රධාන සංවිධායක, මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල (ස.ජ.බ) – ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මමත් කාලයක් ක්‍රීඩා ඇමතිවෙලා හිටියා. ක්‍රීඩා පනත යටතේ අතුරු පාලක මණ්ඩලයක් පත් කිරීමේ සම්පූර්ණ බලය ඇමතිතුමාට තිබෙනවා. වෙනකාටවත් බැහැ. මමත් ඇමතිවරයා හැටියල අතුරුපාලක මණ්ඩලයක් පත්කළා. අපි ශූරතා දිනල තියෙන්නේ අතුරු කමිටුව මණ්ඩල කටයුතු කරන කොටයි. අද ජාත්‍යන්තරය කියන්නේ ලංකාවේ ක්‍රිකට්වලට දේශපාලනඥයන් අත ගහනව කියලයි. අර්ජුණට විතරයි ක්‍රිකට් ගොඩ ගන්න පුළුවන්. ජනතාව ඒක විශ්වාස කරනවා. ඊයේ කැබිනට් මණ්ඩලය අතුරු කමිටුව ගැන හොයන්න වෙනම කමිටුවක් පත් කළා.
නියෝජ්‍ය කතානායක, අජිත් රාජපක්ෂ- ගරු ඇමතිතුමා ඒ ගැන පැහැදිලි කිරීමක් කළානේ. දැන් මේක නවත්තමු. නැත්නම් පාර්ලිමේන්තුවත් ක්‍රිකට් පාලක මණ්ඩලය වගේ වෙනවා.
ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ප්‍රසන්න රණතුංග (ශ්‍රී.පො.පෙ) – ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මම විපක්ෂනායකතුමාට කියන්නේ. ඔබතුමාගේ පියා මේ රටේ පාපන්දු ක්‍රීඩාව නංවන්න විශාල මෙහෙයක් කළා. ගාමිණී දිසානායක ඇමතිතුමා ක්‍රිකට් ක්‍රීඩාව මේ තත්ත්වයට ගේන්න ලොකු කැප කිරීමක් කලා. මෙතන වැරැද්ද දේශපාලන මැදිහත්වීමක් නෙවෙයි. වැරදි පුද්ගලයන් තනතුරුවලට පත්වීමයි වැරැද්ද. ආචාර්ය එන්.එම් පෙරේරා මහතාගේ කාලයේ සිට බොහෝ දේශපාලනඥයන් ක්‍රීඩාව ගොඩගන්න කැපකිරීමක් කලා. හැබැයි ලෝක කුසලානයෙන් පසුව රටට මුදල් ගලාගෙන එන්න පටන් ගත්තම බුකී කාරයෝ, සූදු කාරයො, හොරු, වංචා කාරයෝ ක්‍රීඩාවට ආවේ. මමත් ඕකේ හිටිය නිසා වෙන හොරකම් ගැන දන්නවා. අද උසාවියෙන් දීපු නියෝගය ආණ්ඩුව ගත්ත තීන්දුවක් නෙමෙයි.
0 Comments