මාධ්‍ය ආයතන සිය ජනප්‍රියත්වය වෙනුවෙන් ඇතැම් කලාකරුවන්ව භාවිතාකිරීම මෑතකදී බහුලව සිදුවේ. එයට හොඳම උදාහරණයක් ලෙස යොවුන්, ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන යුරේනි නොෂිකා හැඳින්විය හැක.
යුරේනිගේ ජීවිත කතාව, අද සමාජයේ සෑම දෙයක්ම දෙමව්පියන්ගෙන් හෝ වෙනත් පාර්ෂවයකින් නොමිලේ ලැබෙනතුරු බලා සිටින, යැපුම් මානසිකත්වයක් ඇති තාරුණ්‍යට ආදර්ශයකි. කුඩා කලම, සිය දෙමව්පියන් නැතිව, මිත්තණිය සමග හැදීවැඩී, පාසල් අධ්‍යාපනයෙන් ඉහලම දක්ෂතා පෙන්වා, නීතී අංශයෙන් උසස් අධ්‍යාපනයේ නිරත වීමට තිබූ අවස්ථාව, සිය ආර්ථික තත්වය මත කැපකර, රැකියාවක නිරත වී තමා සිටි තැනින් තනිව නැගින්න අරමුණු කරගෙන කලා ක්ෂේත්‍රයට පිවිස, විවිධ බාධක මැද වසර 16කට අධික කාලයක් කලා ක්ෂේත්‍රයේ වැජඹෙමින්, සිය විශ්වාසය හා කැපවීම මත කර්මය වෙනස් කරගත් තැනැත්තියක් ලෙස ඇය ඉතිහාසගත වී අවසන් ය.
2007 වසරේ විකාශනය වු, යුරේනිගේ කුළුඳුල් රංගනය වන කිඳුරංගනා නාට්‍යයෙන් පසු ඇය රඟපෑ ටෙලි නාට්‍ය හා චිත්‍රපට 10ක් වැනි කුඩා ප්‍රමාණයකි. ඒවා අතුරින් මෑතකදී විකාශනය වූ කූඹියෝ නාට්‍ය හා නයිට් රයිඩර් චිත්‍රපටය හැර අන් කිසිවක් එතරම් ජනප්‍රිය වූවේ නැත. යුරේනි උගත් තරුණියක් ලෙසත්, ආත්ම විශ්වාසය උපරිමයෙන්ම ඇයට තිබෙන නිසාත්, තමාටම ආවේණික වූ පෞර්ෂත්වයක් ඇය ගොඩනගාගෙන ඇත. ඒ වගේම තාත්විකව රංගනයක නිරත වීමටද ඇයට හැකියාවද ඇත. ප්‍රවීණයන් සමඟ රඟපෑමෙන් ලබන අද්දැකීම් වලින් හා රංගනය විෂයක් ලෙස වැඩිදුර හදාරමින්, රංගන හැකියාව ප්‍රගුණ කරගෙන, චරිතාංග නිලියක් ලෙස ඉතිහාසයට එකතුවීමට ඇයට ඇති ප්‍රධානම බාධාව, ඇයගේ සරාගීබවට හා මුඛරිබවට මාධ්‍යයෙන් ඇති ඉහල ඉල්ලුමයි. බොහෝ වැඩසටහන් ඉදිරිපත් කිරීමට, රාත්‍රී copy chat වැඩසටහන් වලට නිතර සහභාගි වීමට, මෝස්තර නිරූපණයට ඇයට ඇති අධික ඉල්ලුම නිසා, කෙටි ආයාසයකින් ඉහල ආර්ථික ප්‍රතිලාභ භුක්ති විඳීමට ඇයට හැකියාව ඇත. මේ නිසා චිත්‍රපටි වලට හෝ ටෙලි නාට්‍ය වලට විඩංගු කරන කාලය, අලාභදායි ලෙස ඇයට දැනෙනු ඇත.
ඉහත වැඩසටහන් වලට යුරේනිව සම්බන්ධ කරගන්නේ, ඇගේ මුඛරිබව හරහා ප්‍රේක්ෂකයන්ව නීරස බවෙන් මුදවාගෙන සජීවී බවක් ඇතිකරගැනීමටත්, ඇගේ සරාගීබව විදහාපාන විලාසිතා හරහා එකී ප්‍රේක්ෂකයන් ආකර්ෂණය කරගැනීමටත් වේ. සරලව කීවොත්, මාධ්‍ය විසින් කුණු රසය වෙනුවෙන් දක්ෂතාව යටපත් කර මුඛරිබව හා සරාගීබව ඉස්මතුකිරීමක් මෙහිදී සිදු වේ.
මාධ්‍ය ආයතන වල ජනප්‍රියත්වය වෙනුවෙන්, කෙටිකාලීන ආර්ථික ලාභ හා පෞද්ගලික ජනප්‍රියත්වය ගැන සලකාබලා, සිය කලා දිවිය කෙටි කරනොගෙන, ලාංකීය සිනමාව අගාධයට යන ගමනට ආධාරකයක් නොවී සිටීමට, යුරේනි පමණක් නොව, නව පරපුරේ දක්ෂ රංගනවේදීන් සියලුදෙනාම සිතට ගතයුතුයි. එනම් ප්‍රේක්ෂක කුණුරසය ඇවිස්සීමේ බර අවියක් නොවිය යුතුයි.
- යෙනුක සිසිල්චන්ද්‍ර


.jpeg)
0 Comments