වසර ගණනකට කලින් කරන්න තිබූ සටනක් පියල් දැන් අරඹයි…

 

ධීවරයා මහ සයුරේ දුක්විඳ රැගෙන එන මත්ස්‍ය අස්වැන්නට නිසි මිලක් නොලැබෙන්නෙ ධීවරයාට වගකිව ආයතන දුර්වල වීම සහ වෙළෙඳපොළ ඒකාධිකාරිය බලවත් වීම ආදී හේතූන් නිසාවෙන් බව ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මහතා පවසයි.

චීන සමූහාණ්ඩුවේ ආධාර යටතේ එක් දින ධීවර යාත්‍රාවන් සඳහා නොමිලේ ඉන්ධන ලබා දීමේ වැඩසටහනේ දෙවන අදියරයේ කොළඹ දිස්ත්‍රික් වැඩසටහන පානදුර මෝදර ධීවර වරාය පරිශ්‍රයේදී ආරම්භ කරමින් ධීවර රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය. ධීවරයා ද ආරක්ෂා කරගනිමින්, පාරිභෝගිකයාට ද පහසු මිලට ගුණාත්මක මාළු ලබාදීමේ අභියෝගය ජයගැනීමට තමා කැප වී සිටින බව මෙහිදී ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මහතා සඳහන් කළේය.

“ආයතන කඩා වැටීම, සුළුතරයක් වූ නිලධාරීන්ගේ අදූරදර්ශී ක්‍රියාවක් වගේම අධික ලාභ ලබමින් ඒකාධිකාරියක් පවත්වාගෙනයන අතරමැදියන්ගේ බලපෑම් එක්ක අපිට සටනක් කිරීමට සිදුවෙලා තියෙනවා. මේක වසර ගණනාවක ඉහතදී ආරම්භ කරන්න තිබුණු සටනක්. ඒත් මම හිතනවා අපි පරක්කු නෑ. මොන තරම් අභියෝග ආවත් ධීවරයා සහ පාරිභෝගිකයා ආරක්ෂා කරන්න, අපි මේ ආයතන තුළ වගේම සමස්ථ ධීවර ක්ෂේත්‍රය තුළත් වෙනස්කම් කරනවා”

ඉන්ධන සහනාධාර බෙදා දීමේ වැඩසටහනේ දෙවන අදියර යටතේ දිවයින පුරාම ඉන්ධන දීමනාව ලබන ධීවරයන් සංඛ්‍යාව 28,000 පමණ වේ. ඒ අනුව එක් ධීවරයෙකුට භූමිතෙල් ලීටර් 153 ක ප්‍රමාණයක් නොමිලේ ලබා දීම සිදුවේ. දෙවන අදියරයේ දී දිවයින පුරාම භූමිතෙල් ලීටර් 4,250,000ක් (හතළිස් දෙලක්ෂ පනස් දහසක්) ආසන්න ප්‍රමාණයක් ලබා දීමට ද නියමිතය. මෙහිදී කොළඹ දිස්ත්‍රික්කයේ පමණක් යාත්‍රා හිමියන් 450ට අධික පිරිසක් මෙම දීමනාව ලබයි.

ඩීසල් වශයෙන් ලැබුණු මෙම ඉන්ධන පරිත්‍යාගය එක්දින යාත්‍රා හිමියන්ගේ අවශ්‍යතාවය පරිදි භූමිතෙල් බවට පරිවර්තනය කිරීමට ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා පෙරටුව ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා සහ ධීවර අමාත්‍යාංශ නිලධාරීන් කටයුතු කොට තිබේ. ඒ අනුව මෙම වැඩසටහන මේ වන විටත් සාර්ථකව අදියර දෙකක් සම්පූර්ණ කොට ඇත.

මෙම අවස්ථාවට ධීවර දෙපාර්තමේන්තුවේ කොළඹ දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ ප්‍රසන්න ප්‍රේමවර්ධන මහතා, ධීවර දෙපාර්තමේන්තුවේ කළුතර දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ චමිල කහඳවල මහතා, පානදුර මෝදර ධීවර වරායේ කළමනාකරු නුවන් මහතා, මොරටුව හිටපු නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු මහතා, පානදුර ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති හේමන්ත ප්‍රනාන්දු මහතා ඇතුළු පිරිසක් එක්විය.

Post a Comment

0 Comments