හිටපු ප‍්‍රබල ඇමතිගේ අරක්කු සමාගම නමින්ම හොර සමාගමක්..

 



හිටපු ප්‍රබල ඇමැතිවරයෙකුට අයත් මත්පැන් සමාගමක නමින් දොම්පේ ප්‍රදේශයේ පවත්වාගෙන ගිය නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වැටලූ දොම්පේ පොලිසිය එහි ව්‍යාජ ස්ටිකර් යොදා අලෙවි කිරීමට සූදානම් කර තිබූ මත්පැන් බෝතල් හයදහසක් පොලිසිය බාරයට ගෙන තිබිණි.

මෙම මත්පැන් නිෂ්පාදනාගාරය පවත්වාගෙන ගිය ප්‍රධාන සැකකරු ඇතුළු එහි සේවය කළ සැකකරුවන් 12 දෙනෙකුද පොලිසිය විසින් ඊයේ අත්අඩංගුවට ගෙන ඇත.

දොම්පේ කළුකොඳයාව ප්‍රදේශයේ ගබඩාවක් තුළ නීති විරෝධී අන්දමින් මත්පැන් නිෂ්පාදනාගාරයක් පවත්වාගෙන යන බවට දොම්පේ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ශ්‍රියාන් නිශ්ශංක වෙත ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර තිබිණි.

මෙම ස්ථානයේ මොවුන් දින අටක කාලයක් මත්පැන් නිෂ්පාදනය, බෝතල් කිරීම, ස්ටිකර් යෙදීම, මූඩි සීල් කිරීම සිදුකර තිබෙන බවද පොලිස් ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය විය. මෙම මත්පැන් සුරාසල් වෙත ගෙන යාම සඳහා සූදානම් කර තිබූ ලොරී රථ දෙකක්ද පොලිසිය බාරයට ගෙන තිබිණි.

මෙම නිෂ්පාදනාගාරයේ තිබූ මත්පැන් බෝතල්වල අලවා තිබූ ස්ටිකර් කුරුණෑගල ප්‍රදේශයේ පිහිටි මත්පැන් සමාගමකට සමානව සකස් කර තිබෙන බවත් හෙළි වී ඇත. අදාළ නීත්‍යානුකූල මත්පැන් සමාගමට ද රහසේ මෙය සංවිධානාත්මකව පවත්වාගෙන ගොස් ඇතැයිද පොලිසිය සඳහන් කරයි.

සැකකරුවන් පිළිබඳ වැඩිදුර පරීක්ෂණ දොම්පේ පොලිසිය සිදුකරයි.

Post a Comment

0 Comments