ක්‍රිකට් අර්බුදයට එකම විසඳුම අර්ජුනද?

 


උද්ධමනය, බදුබර, දේශපාලන අස්ථාවරත්වය වැනි ශ්‍රී ලංකාවේ පවතින දැවෙන ගැටළු පවා යටපත් කරමින් ක්‍රිකට් අර්බුදය උත්සන්න වී තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම, මෙවර ලෝක කුසලාන තරඟාවලියේදී සහභාගි වූ තරඟ 9 අතුරින්, තරඟ 2ක් හැර සියල්ල පරාජය වී නැවත මව් රටට පැමිණ ඇත. මෙම අන්ත පරාජයට හේතුව ක්‍රිකට් පාලක මණ්ඩලය ලෙස සැලකූ ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ විසින් අර්ජුන රණතුංගගේ සභාපතිත්වයෙන් අතුරු පාලක මණ්ඩලයක් පත්කිරීමත්, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් ක්‍රිකට් පාලක මණ්ඩලය ඉවත්කිරීමට ගෙනා යෝජනාව ඒකමතිකව පාර්ලිමේන්තුව තුල සම්මත වීමත් නිසා, දේශපාලන ඇඟිලි ගැසීම් යන නිර්නායකය යටතේ ජාත්‍යන්තර ක්‍රිකට් ආයතනය (International Cricket Council - ICC) විසින් ශ්‍රී ලංකාවේ, එහි (ICC) සමාජිකත්වය අහෝසි කර ඇත. 

ICC සමාජිකත්වය නැවත ලබාගැනීම මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නැවත ජයග්‍රාහී මාවතට හරවා ගැනීමත් කල යුතුය. ක්‍රීඩා අමාත්‍යවරයා ඇතුළු බොහෝ පාර්ෂව පවසන්නේ, ශ්‍රී ලංකාවේ ක්‍රිකට්, ඉහලට එසවිය හැකි නිවැරදිම පුද්ගලයා අර්ජුන රණතුංග බවයි. 

1996 ලෝක කුසලානය දිනා දුන් කණ්ඩායමේ නායකයා ඔහුයි. තරඟ ජයග්‍රහණ අතින් පමණක් නොව ක්‍රීඩකයන් වෙනුවෙන් පෙනී සිටීම, නවකයන් ඉදිරියට ගැනීමට කැපකිරීම් කිරීම යන නිර්නායක සැලකුවත්, ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ සිටි දක්ෂතම නායකයා අර්ජුනයි. 1996 ලෝක කුසලානය ජයග්‍රහණය කලත්, ඊට වසර 3කට පසු පැවති 1999 ලෝක කුසලානයේ අඩුම වශයෙන් අවසාන 6 දෙනාගේ වටයටවත් සුදුසුකම් ලබන්නට ශ්‍රී ලංකා කණ්ඩායමට නොහැකි වූ අතර, 1999 දීත් නායකයා උනේ අර්ජුනයි. ක්‍රීඩකයන් දෙදෙනෙක් හැර 96 අවසන් කණ්ඩායම,  99 ලෝක කුසලානයේදිත් ක්‍රීඩා කර ඇත. එනම් 96 යේ ක්‍රීඩා කල අසංක ගුරුසිංහ හා කුමාර ධර්මසේන වෙනුවට 99 දී මාවන් අතපත්තු හා එරික් උපශාන්ත ක්‍රීඩා කර ඇත. මින් පැහැදිලි වන්නේ අර්ජුන යනු ක්‍රිකට් මැජික්කාරයෙකු නොවන බවයි.

ක්‍රීඩකයන්ගේ දක්ෂතා මොහොතින් මොහොත වෙනස් වන අතර තරඟයක් ජයග්‍රහණය කිරීමට අවශ්‍ය, ඒ වනවිට සිටින දක්ෂත.අ කණ්ඩායම ඉදිරිපත් කිරීමට අපක්ෂපාත පරිපාලනක්ද තිබිය යුතුයි. ICC සාමාජිකත්වය ලබාගැනීමට, ක්‍රිකට් නිලවරණයකින් ක්‍රිකට් පාලක මණ්ඩලය පත්විය යුතුයි.  ICC වල නිර්දේශ වලට අනුව, ක්‍රිකට් නිලවරණයක් පැවැත්වීමට පෙර, අක්‍රීය ක්‍රිකට් සංගම් සියල්ල, ක්‍රිකට් නිලවරණයක ඡන්ද බලයෙන් ඉවත්වෙන ලෙසට, නීති ප්‍රතිසංස්කරණ ඇතිකල යුතුයි. නොඑසේනම් දශක 2ක් පුරාවට ක්‍රිකට් පරිපාලනය සෘජුව හෝ වක්‍රාකාරව හසුරුවන රේස් බුකී පිල විසින් සුපුරුදු පරිදි, අක්‍රීය සංගම් වල ඡන්ද මිල දී ගනු ලබයි. ඉන් පසුව, ක්‍රීඩා දැනුම වෙන්ම පරිපාලන දැනුම තිබෙන ස්වාධීන කණ්ඩායමක් පරිපාලනය සඳහා පත්වී, ලංකාවේ භූමිය තුල ජාතික තලයට ගැලපෙන නව ක්‍රීඩකයන් හඳුනාගන්නා දිගුකාලීන වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කලයුතුයි. මේ සඳහා අර්ජුන, අරවින්ද, මුරලි, සනත්, මහානාම, වාස් වැනි සාර්ථක හිටපු දේශීය ක්‍රීඩකයන්ගේ සහයෝගය ලබාගත යුතුයි. 

මේ නිසා ක්‍රිකට් අර්බුදයට පිලියමක් ලෙස, එහි වගකීම තනි පුද්ගලයෙක්ට පැවරීම නොකර, කාල රාමුවක් සහිත ජාතික වැඩපිලිවෙලක් ඇතිකල යුතුයි. නොඑසේනම් ක්‍රිකට් ක්‍රීඩාව සුන්දර මතකයක් ලෙස, ඉතා ඉක්මනින්, අතීතයට එක්වනු ඇත.

- යෙනුක සිසිල්චන්ද්‍ර

Post a Comment

0 Comments