රෝහලේ ආපන ශාලා ටෙන්ඩරය අඩු ලංසු හා වැඩි මිළ ටෙන්ඩර්කරුට..

 

පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි.

කලුබෝවිල රෝහලේ ආපන ශාලාව අඩු ලංසු තැබූ හා වැඩි මිළ ගණන් ඉදිරිපත් කල ටෙන්ඩර්කරුට ලබා දීමේ සූදානමක්!

2023/10/06 වන දින කලුබෝවිල රෝහලේ ආපනශාලාව වසරක කාලයක් පවත්වාගෙන යාම සදහා ටෙන්ඩර් පත් කැදවා ඇත. එම ටෙන්ඩර පත්‍රිකා 2023/10/14 දින විවෘත කර ඇති අතර එහිදී වැඩිම ලංසු මුදල ලෙස රුපියල් 788,750.00 ලංසුවක් ඉදිරිපත් වී ඇත. දෙවැනි වැඩිම ලංසු මුදල ලෙස රුපියල් 743,000.00 ක මුදලක් ඉදිරිපත් කර ඇත. මෙම ටෙන්ඩර්කරුවන් දෙදෙනාම අහාර සදහා සුබසාධන මිළ ගණන් ඉදිරිපත් කර ඇති අතර වැඩිම ලංසු ඉදිරිපත් කර ඇති ටෙන්ඩර්කරුගේ ආහාර මිළ ගණන් දෙවන වැඩිම ලංසුව තබා ඇති ටෙන්ඩර්කරුට වඩා අඩුවෙන් තිබියදී වැඩි මිළ ගණන් ඉදිරිපත් කර ඇති ටෙන්ඩර්කරුට අදාල ටෙන්ඩරය පිරිනැමීමට ප්‍රසම්පාදන කමිටුව උත්සහ කරමින් සිටින බවට වන තොරතුරුක් අප සංවිධානයට ලැබී ඇත.

දිනකට දහස් ගණනක් ප්‍රතිකාර සදහා පැමිණෙන රෝගීන් සිය ආහාර අවශ්‍යතා සපුරා ගනු ලබන්නේ රෝහලේ ආපනශාලාවෙනි. එම ආපනශාලාව රෝගීන්ට විශාල සහනයකි.

දිනෙන් දින ආහාර මිළ ගණන් ඉහල යද්දී සහනදායී මිළගණන් යටතේ අහාර මිලදී ගැනීමට පාරිභෝගිකයින්ට ඇති හැකියාව නැති කරමින් වැඩි මිළ ගණන් ඉදිරිපත් කර ටෙන්ඩර්කරුට අනීතික ලෙස ආපන ශාලාව පවත්වාගෙන යාම සදහා ටෙන්ඩරය ප්‍රදානය කිරීම මගින් පාරිභෝගිකයින්ට සිදුවන්නේ විශාල අගතියකි.

ගිය වසරේ ආපනශාලාව පවත්වාගෙන යාම සදහා වූ ටෙන්ඩරය 2023/10/31 දින අවසන් වුවද එය ලබා ගත් ටෙන්ඩර්කරුට නැවත එම ආපනශාලාව මාස දෙකක් පවත්වාගෙන යාම සදහා ලබා දී ඇත. නව ටෙන්ඩර්කරුට මෙම ටෙන්ඩරය ලබා නොදී දිගින් දිගටම කල් මරමින් පාරිභෝගිකයින් අපහසුතාවයට පත් කරන්නේ ප්‍රසම්පාදන කමිටුවේ සාමාජිකයෙකුගේ හිතවතෙකු වන අඩු ලංසුවක් ඉදිරිපත් කර ඇති හා ආහාර සදහා වැඩි මිළ ගණන් ඉදිරිපත් කර ඇති දෙවන ටෙන්ඩර්කරුට නව ටෙන්ඩරය ලබා දීම සදහා ද යන්න සැකයක් අප සංවිධානය වෙත ඇති අතර එම දෙවන ටෙන්ඩර්කරු කරවනැල්ල රෝහලේ ආපනශාලාව පවත්වාගෙන යාමේදී ගැටලුකාරී තත්වයක් ඇති කරගෙන අසාදුලේඛණගත වූවෙකි බවට තොරතුරු අප සංවිධානයට ලැබී ඇත.

ප්‍රතිකාර ලබා ගැනීමට රෝහලට පැමිණෙ රෝගීන් හා ඥාතීන් ගසාගෙන කෑමට ඉඩහරින කලුබෝවිල රෝහලේ පරිපාලනයට අපගේ දැඩි විරෝධය පලකරන අතර ඉතාමත් ඉක්මනින් නීත්‍යානුකූලව අදාල ටෙන්ඩර් පටිපාටිය අනුව කිසියම් ආයතනයකට හෝ පුද්ගලයෙකුට ලබාදීමට කටයුතු කිරීමට මැදිහත් වන ලෙස අප සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටිමු.

Post a Comment

0 Comments