මෙරට පවතින නීත්‍යානුකූලව ලියාපදිංචි කර නොමැති අධි ධාරිතාවෙන් යුතු (එන්ජින් ධාරිතාවය 450cc සිට ඉහළ) යතුරුපැදි නියමානුකූල ලෙස ලියාපදිංචි කිරීම සඳහා නිසි ක්‍රමවේදයක් සකස් කිරීම සඳහා කඩිනමින් කරුණු පරීක්ෂාකර බලා, නිර්දේශ ඇතුළත් වාර්තාවක් ඉදිරි සති කිහිපය තුල ලබාදෙන ලෙස ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රවාහන අමාත්‍යංශය හා ඒ හා සබැඳි අනිකුත් ආයතන වල නිලධාරීන් වෙත උපදෙස් ලබා දුන්නේ ය.
මීට පෙර අවස්ථා කිහිපයක දී මෙරට අධි ධාරිතාවෙන් යුතු යතුරු පැදි හිමිකරුවන් විසින් හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතාගේ සම්බන්ධිකරණයෙන්, අමාත්‍යවරයාගෙන් සිදු කරන ලද ඉල්ලීමක් අනුව, විවිධ ක්‍රම වලින් මෙරටට ගෙන්වා මෙතෙක් ලියා පදිංචි කර නොමැති මෙවැනි අධි ධාරිතාවෙන් යුතු යතුරු පැදි ලියාපදිංචිය පිළිබඳ කැබිනට් පත්‍රිකාවක් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද අතර ඊට අවශ්‍ය නිර්දේශ ලබා දීම සඳහා ප්‍රවාහන අමාත්‍යංශය, ආරක්ෂක අමාත්‍යාංශය, මුදල් අමාත්‍යංශය, නීතිපති දෙපාර්තමේන්තුව, මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව, පොලිස් දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන වල ඉහළ නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක් පත් කර තිබේ.
ඒ අනුව අදාළ කමිටුව වෙත අමාත්‍යවරයා උපදෙස් ලබා දුන්නේ මීට පෙර අවස්ථා කිහිපයකදී මෙවැනි අධි ධාරිතාවෙන් යුතු යතුරු පැදි ලියාපදිංචිය සඳහා ලබාදී ඇති අවස්ථාවන්වල නීති-රීති රෙගුලාසි පිළිබඳවද අවධානය යොමු කරමින්, අනාගතයට පූර්වාදර්ශයක් නොවන පරිදි දැනට මෙරට පවතින පන්දහසක් පමණ වන මෙවැනි යතුරු පැදී පමණක් දැඩි නීති රීති කොන්දේසි යටතේ ලියාපදිංචි කිරීම සඳහා අවශ්‍ය නිර්දේශ සියලු දෙනා විසින් සාකච්ඡා කර ඉදිරි සති කිහිපය තුළ ඉදිරිපත් කරන ලෙසයි.
විශේෂයෙන් විවිධ රාජ්‍ය ආයතනවල නීති රීති පැනවීමේදී සහ ක්‍රියාත්මක කිරීමේදී පවතින දුර්වලතා හේතුවෙන් විවිධ ආකාරයේ ක්‍රමවේද වලින් යතුරුපැදි පමණක් නොව විවිධ භාණ්ඩ විශාල ප්‍රමාණයක් නීති විරෝධී ආකාරයෙන් මෙරටට ඇතුළු වන බවත්, මේ පිළිබඳ නිසි ක්‍රමවේදයක් කලාපයේ අනිකුත් රටවල භාවිතා වන නීති රීති පිළිබඳවද සැලකිල්ල යොමු කරමින් කාලීන අවශ්‍යතාවයක් වන බවත් අමාත්‍යවරයා මෙහි දී පෙන්වා දුන්නේය.
විවිධ කාල සීමාවන් තුල, විවිධ ආකාරයෙන් මෙරටට ගෙන්වන ලද අධි ධාරිතාවයෙන් යුතු යතුරු පැදි 5000ක් පමණ මේ වන විට දිවයින පුරා විවිධ පුද්ගලයින් සතුව පවතින බව මෙම සාකච්ඡාවේදී කරුණු අනාවරණය විය.
එහෙත් නියමිත ආකාරයේ කිසිදු බදු ගෙවීමකින් තොරව මෙරටට ගෙන්වා ඇති මෙම යතුරුපැදි වලට රජය නියම කරන කොන්දේසි යටතේ, අදාළ බදු මුදල් ඇතුළු ගාස්තු ගෙවීමකින් අනතුරුව ලියාපදිංචි සඳහා අවසරය ලබා දෙන ලෙස අධි ධාරිතාවයෙන් යුතු යතුරු පැදි හිමියන් විසින් මෙහිදී ඉල්ලීමක් සිදු කරන ලදී.
0 Comments