2023 දෙසැම්බර් 06
පා.ම. ගාමිණි වලේබොඩ
සභාපති
ආර්ථික අර්බුදය සමනය කිරීම පිළිබද ආංශික අධික්ෂණ කාරක සභාව
පාර්ලිමේන්තුව
අනීතික හා අසාධාරණ ලෙස විදුලි ගාස්තු වැඩිකල ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති සහ සමාජිකයින්ට එරෙහිව කරන පැමිණිල්ලයි
ප්‍රමාද වී හෝ ඔබ ආංශික අධික්ෂණ කාරක සභාව විසින් ආර්ථික අර්බුදය තීව්‍ර කල ශ්‍රි ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ඇතුළු සාමාජිකයින් කරුණු දැක්වීම සදහා කැදවීම පිළිබද විදුලිය පාවිච්චිකරන්නන්ගේ සංගමය වශයෙන් අපේ ස්තුතිය සභාපති වන ඔබ ඇතුළු කාරක සභාවේ සියලු මංත්‍රීවරුන්ට පුදකර සිටිමු.
ඔබ ඇතුළු කාරක සභාවේ අවධානය සදහා පහත සදහන් කරුණු ඉදිරිපත් කර සිටිමු
• මේ වසරේ ඔක්තෝබර් මාසය දක්වා බලපැවත්වු ශ්‍රී ලංකා විදුලිබල පනතේ 5 වන වගන්තිය යටතේ නිකුත් කල රාජ්‍ය ප්‍රතිපත්ති උපදේශයට අනුව වසරකට විදුලි ගාස්තු සංශෝධනයකල හැකිව තිබුණේ වසරකට දෙවරක් පමණි. එහෙත් කොමිෂන් සභාව විසින් අවශ්ථා 3නකදි ගාස්තු සංශෝධනය කරමින් රජයේ ප්‍රතිපත්තිය උල්ලංඝණය කර ඇත.
• ශ්‍රී ලංකා විදුලිබල පනතේ 30 වන වගන්තිය යටතේ කොමිෂන් සභාව විසින් නිකුත් කර ඇති ගාස්තු සමාලෝචන පටිපාටියට අනුව අති විශේෂ ගාස්තු වැඩිකිරීමක් කල හැක්කේ වියදම් ඇස්තමේන්තුව සියයට 25කින් වැඩි වී තිබුණහොත් පමනි. තුන් වන ගාස්තු වැඩිකිරීම කලේ ලංවිම වියදම ඇස්තමේන්තුව අඩු වි තිබියදීයි. (ලංවිම මුලින් ඇස්තමේන්තු කලේ මේ වසරේ වියදම රුපියල් බිලියන 720ක් වන බවයි. නමුත් පසුගිය ඔක්තෝබර් මාසය වන විට එම ඇස්තමේන්තුව වැරැදි බවත් සත්‍ය වියදම රුපියල් බිලියන 600ට වඩා අඩුවන බවත් ඔප්පු වී තිබිණ)
• ශ්‍රී ලංකා විදුලි බල පනතේ 30 වන වගන්තිය අනුව ලංකා විදුලි බල මණ්ඩලය සදහා ගාස්තු අනුමත කිරීමේදී ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් අනුමත කල යුත්තේ විදුලිය ජනනය, සම්ප්‍රේශනය හා බෙදාහැරිමට වැයවන සාධාරණ වියදම පියවා ගැනීමට අවශ්‍ය ආදායම ලැබෙන ගාස්තුවක් පමණි.
• මේ වසරේ මුල්ම ගාස්තු සංශෝධනය (2023 පෙබරවාරි 15 දින සිට ක්‍රියාත්මක වු) සදහා ලංකා විදුලිබල මණ්ඩලය විසින් සියයට 66ක ගාස්තු සංශෝධනයක් යෝජනා කර තිබිණ. මෙම යෝජනාව සම්බන්ධයෙන් මහජන අදහස් හා යෝජනාද ලබාගන්නා ලදී. මා ඇතුළු විශාල සංඛ්‍යාවක් ඒ සදහා අපගේ අදහස් ද ඉදිරිපත් කරන ලදී. මෙම යෝජනාව අධ්‍යයනය කල ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ විදුලි ගාස්තු අංශය නිර්දේශ කර තිබුණේ සියයට 35ක ගාස්තු වැඩිවීමක් පමණි. එම 35% ගාස්තු වැඩිවීමේ නිර්දේශ කොමිෂන් සභාවේ හිටපු සභාපති ජනක රත්නායක මහතාද පිළිගත් බව මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ කර තිබිණි. කෙසේ වෙතත් ඒ වන විට අලුති න් කොමිෂන් සභාවට සාමාජිකයින් ලෙස පත් කර තිබු සෙල්ලංගෙදර සේනාරත්න සහ ඩග්ලස් නානායක්කාර සමග එක්ව චතුරිකා විජේසිංහ යන අයවළුන් කිසිදු පදනමකින් තොරව ලංකා විදුලි බල මණ්ඩලය යෝජනා කර තිබු සියයට 66% වැඩිවීම එලෙසම අනුමත කරන ලදී. ඔවුන් විසින් කිසිදු අධ්‍යනයක් කල බවට සාක්ෂි නැත. ගාස්තු පිළිබද විධිමත් තීරණයක් ද මේ දක්වා පල කර නැත. අත්තනෝමතික ලෙස ගාස්තු වැඩිකල අතර ඊට ආසන්න කාලයකදී ඉහත සාමාජිකයින් තිදෙනා විසින් ඒස් ඇඹිලිපිටිය පුද්ගලික බලාගාරයෙන් අධික මිලට විදුලිය මිලදී ගැනීම සදහා ද අනුමැතිය ලබා දී ඇත. විදුලි ගාස්තු අසාධාරණ ලෙස වැඩි කර හදිසි විදුලිය මිලදී ගැනීමට අනුමැති ය ලබා දීම යන තීරණ දෙක අතර සම්බන්ධතාවයක් ඇති බව පෙනේ. මෙය අල්ලසක් හෝ දුෂණයක්දැයි යන සැකය මතු ව ඇත. (මේ පිළිබද අපි අල්ලස් හා දුෂණ කොමිසමට විස්තර සහිතව පැමිණිලි කිරීම සදහා පියවර ගෙන ඇත.)
• ලංකා විදුලි බල මණ්ඩලය විසින් නිරන්තරයෙන් වැරැදි දත්ත ඉදිරිපත් කර ගාස්තු ඉහල දැමීමට ක්‍රියාකර ඇත. මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ වගකීම වනුයේ ලංවිම ඉදිරිපත්කරන දත්ත වල නිරවද්‍යතාවය සොයා බලා තීරණ ගැනීමයි. එහෙත් ඉහත නම් සදහන් කොමිෂන් සභා සාමාජිකයින් තිදෙනා හා වත්මන් සභාපති මහාචාර්ය මංජුල පෙරේරා මහතා අන්ධයන් සේ ලංවිම ඉදිරිපත් කරන ඔ්නැම දත්තයක් පිළිගනි. මේ වසරේ මුල් ගාස්තු සංශෝධනයේදී ලංවිම ඇස්තමේන්තු කර තිබුනේ ලංවිම වියදම රුපියල් බිලියන 720ක් බවයි. ඉන්පසුව අවස්ථා ගණනාවකදී ලංවිම මේ වසරේ පාඩු ලබන බව ප්‍රසිද්ධ කර තිබුණි. 2023 සැප්තැම්බර් මස 4 වැනි ලංවිම ප්‍රසිද්ධ කරන ලද ලේඛනයක දක්වා තිබුනේ මේ වසරේදී රුපියල් බිලියන 50ක පාඩුවක් ලබන බවයි. එම ලිපියේම තවත් තැනක සදහන් කර තිබුනේ මේ වසරේ පාඩුව රුපියල් බිලියන 33ක් බවයි. මේ ලිපියට පිළිතුරු වශයෙන් කොමිෂන් සභාව යවා තිබු ලිපියක අවධාරණය කර තිබුණේ ලංවිම මේ වසරේ පාඩු නොලබන බවත් ලාභ ලබන බවත් ඒ නිසා මේ වසර තුලදී නැවත ගාස්තු වැඩිකිරීමට අවශ්‍ය නොවන බවයි.
• කෙසේ වෙතත් මේ වසරේ ඔක්තෝබර් 17 වන දින ලංවිම විසින් නැවත වරක් ගාස්තු වැඩිකිරීම සදහා යෝජනාවක් ඉදිරිපත් කර තිබු අතර එයින් ඉල්ලා සිටියේ ලංවිම ආදායම තවත් රුපියල් බිලියන 18කින් වැඩිකිරීම සදහා ගාස්තු වැඩිකල යුතු බවයි. වත්මන් කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය මංජුල පෙරේරා, සමාජික ඩග්ලස් නානායක්කාර, සෙල්ලංගෙදර සේනාරත්න සහ චතුරිකා විජේසිංහ යන අයවළුන් විසින් අදාල යෝජනාව ඒ් ආකාරයෙන්ම අනුමත කර ජනතාව මත පීඩනය තීව්‍ර කර ඇත.
• සත්‍ය තත්වය නම් මේ වසර අවසන් වන විට ලංවිම සම්පුර්ණ වියදම රුපියල් බිලියන 575කට සීමා වන බවයි (ලංවිම ඇස්තමේන්තු කල බිලියන 720 වැරැදියි) ඒ අනුව මේ වසරේ මුලදී කොමිෂන් සභාවේ කාර්ය මණ්ඩලය මුළු වසර සදහාම නිර්දේශ කල සියයට 35ක ගාස්තු වැඩිකිරීම මගින් රුපියල් බිලියන 575 උපයාගත හැකිව තිබුණි. නමුත් වසර අවසන් වන විට ලංවිම සමස්ත ආදායම රැපියල් බිලියන 620 ඉක්මවයි. ඒ අනුව ලංවිම විසින් අසාධාරණ ලෙස රුපියල් බිලියන 50කට ආසන්න ලාභයක් උපයයි. මේ ලාභය යනු ජනතාවගේ දාඩිය හා රුධිරය බව අපි කියා සිටිමු. මහාචාර්ය වරයෙකු ඇතුලු පිරිසකට සාමාන්‍ය සංඛ්‍යා දත්ත ගැන අවබෝධයක් නැති බව පැහැදිලියි.
• ශ්‍රී ලංකා විදුලිබල පනතේ 5 (ඈ) උප වගන්තියට අනුව විදුලි ගාස්තු තීරණය කිරීමේදී තිරසාර ආර්ථික වර්ධනයක් සදහා පහසුකම් සැලැස්වීමට විදුලිය සැපයීම සම්බන්ධයෙන් වන මිල ප්‍රතිපත්තිය විදුලි බල අමාත්‍යවරයා විසින් සැලකිල්ලට ගත යුතු ය. එහෙත් විදුලිබල අමාත්‍යංවරයා කොමිෂන් සභාවේ සභාපති ඇතුලු සාමාජිකයින් සමග එක්ව මේ වගන්තිය අමු අමුවේ උල්ලංඝණය කර ඇති බව ඔබට ද වැටහී ඇති බව පෙනේ
• වහාම ක්‍රියාත්මක වන පරිදි ගාස්තු අඩු කල යුතු බවද ඒ සදහා නිර්දේශ ඉදිරිපත්කරන ලෙස කොමිෂන් සභාවේ වෘත්තීය ඉංජිනේරු පිරිසට නියෝග කරන ලෙසද ඔබ කමිටුවෙන් ඉල්ලා සිටිමු.
• විදුලිබල අමාත්‍යං කංචන විජේසේකර, මහාචාර්ය මංජුල පෙරේරා, ඩග්ලස් නානායක්කාර, සෙල්ලංගෙදර සේනාරත්න හා චතුරිකා විජේසිංහ යන අයවළුන් ආර්ථික ඝාතකයින් ලෙස නම් කරන ලෙසද කොමිෂන් සබාවේ වත්මන් සාමාජිකයින් සියලු දෙනා ඔවුන්ගේ තනතුරු වලින් ඉවත් කිරීමට පාර්ලිමේන්තුව පියවර ගත යුතු බවට නිර්දේශ කරන ලෙසද ඔබ කමිටුවෙන් ඉල්ලා සිටිමු. ඔවුන්ට එරෙහිව අප නීති මගින් කටයුතු කිරීමට පියවර ගෙන ඇති බව ද දන්වා සිටිමු.
ස්තුතියි
සංජීව ධම්මික
ජාතික ලේකම්වි
දුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය
0 Comments