මානව අයිතිවාසිකම් ගැන සැලකිලිමත් වන, බොහෝ ප්‍රජාතන්ත්‍රවාදී රටවල, තනි මාපිය අයිතිය (Single Parent Right) මේ වනවිටත් තහවුරු කර ඇත. තනි මාපිය අයිතිය යනු වැඩිහිටි වියේ සිටින පිරිමියෙක් හෝ ගැහැනියෙක්ට, තමාගේ හෝ තමාගේ නොවන දරුවෙකු, විරුද්ධ ලිංගික සහකරුවෙකුගේ සහයෝගය නැතුව, හදාගැනීමට ඇති අයිතියයි.
තනි මාපියන් ප්‍රභේද කිහිපයක් වන අතර ඉන් බහුලවම දක්නට ලැබෙන ප්‍රභේදය වන්නේ දික්කසාද මාපියන් වේ. දික්කසාද වූ පසු දරුවන්ව තනිව හදාවඩා ගැනීමට නීතිමය ප්‍රතිපාදන තිබුනත්, තනි මාපිය අයිතිවාසිකම් සම්බන්ධයෙන්, මෙරට තුල නීතිමය ප්‍රතිපාදන නොමැති ප්‍රධාන ප්‍රභේද 2ක් ඇත.
ඉන් එකක් වන්නේ විවාහයක් හෝ දිගුකාලීන සම්බන්ධතාවයක්, ප්‍රතිවිරුද්ධ ලිංගික සහකරුවෙකු සමඟ ඇතිකරගැනීමට අකමැති, එහෙත් තමගේම දරුවෙක් ජාතකකිරීමට හෝ බිහිකිරීමට කැමති පුද්ගලයන් වේ. මෙය ස්භාවිකව හෝ සැත්කමක් මගින් සිදුකල හැකි අතර ක්‍රමය කුමක් උවත් දරුවා ගැන අයිතියක් හෝ කිසිඳු සම්බන්ධතාවයක් අනෙක් පාර්ෂවය සතු නොවන බවට වන නීතිමය සහතිකය තිබිය යුතුය. මෙහිදී අවිවාහක ගැහැනියකට, තමන්ගේම කුසින් දරුවෙකු බිහිකර, තනිව හදාගැනීමට හැකියාව ලැබෙන අතර, අනෙක් පාර්ෂවයේ සහභාගිත්වය අවශ්‍ය වන්නේ දරුවා ගැබ්ගැනීම දක්වා පමණි. එමෙන්ම අවිවාහක පිරිමියෙක්ටද තමන්ගේ දරුවෙකු ජාතක කර, හදා ගතහැකි අතර, මෙහිදී අනෙක් පාර්ෂවයේ සහභාගිත්වය අවශ්‍ය වන්නේ දරුවා බිහිවන අවස්ථාව දක්වා පමණි. මෙහිදී තාවකාලික සහකරුව, තමාට රිසිලෙස තෝරාගත හැකි අතර, පරිත්‍යාගශීලීන්ද අනිවාර්යයෙන්ම සිටිනු ඇත. වර්තමානයේදී මෙරට තුල දිනකදී දික්කසාද 400කට වැඩි ප්‍රමාණයක් සිදුවන අතර, නිසි කැමැත්තක් හෝ ගැලපීමක් නොමැතිව, තමන්ගේ දරුවෙකුගේ දරු සුරතල් බැලීමේ පරමාර්ථයෙන් විවාහ වී සිදුවන දික්කසාද, ඉහත තනි මාපිය අයිතිය තුලින් බොහෝ සෙයින් අඩුවනු ඇත.
තනි මාපිය අයිතිවාසිකම් වල අවශ්‍යතාවය ඇතිවෙන අනෙක් තනි මාපිය කාංඩය වන්නේ තාවකාලිකව හෝ දිගුකාලීනව සම්බන්ධතාවක් ඇතිනොකර, වෙනත් පාර්ෂවයකගෙ දරුවෙකු, තනිව දරුකමට හදා ගැනීමට කැමති පුද්ගලයන්ය. ළමා නිවාස වලට දිනකට දරුවන් කොපමණ ප්‍රමාණයක් එකතු වෙනවාද? ඉස්පිරිතාල වල, කුණුකූඩ වල දරුවන් කොපමණ ප්‍රමණයක් දමා යනවාද? මේ කාත්කවුරුත් නැති දරුවන්ව, තනිව හෝ හදාවඩා ගැනීමට අවසරය ලබාදීම සුදුසුයි නේද?
ඉහත තනි මාපිය ප්‍රභේද වලට නීතිමය පිලිගැනීම ලබාදීමට විරුද්ධව ඉදිරිපත් කෙරෙන තර්ක කිහිපයකි. තනිව වෙනත් පාර්ෂවයක දරුවන් හදාගැනීමේදී ළමා අපචාර වැඩිවීමත්, අවිවාහකව තමන්ගේ දරුවෙකු බිහිකිරීම හෝ ජාතක කිරීමේදී, අසම්මත ලිංගික සම්බන්ධතා ප්‍රවර්ධනය වීමත් දැක්විය හැක. අනිවාර්යයෙන්ම තනි මාපිය අයිතිය ලබාදීමට සමගාමීව ළමා අපචාර වලට, අහිංසක තරුනියන් අනාථ කරන අයට දැඩි දඬුවම් හිමිවනලෙස නීතිද වෙනස් විය යුතුය. මෙවැනි පියවරකට එරෙහිව ඉදිරිපත් කරන සංස්කෘතික තර්කයට, පිලිතුර විය යුත්තේ මානව අයිතිවාසිකම් තහවුරු කිරීම, ගතානුගතික සංස්කෘතියක් ආරක්ෂා කිරීමට වඩා වැදගත් බවයි.
බදුබරින් හා ණයබරින් පීඩිතව සිටින අපට, තනි මාපිය අයිතිවාසිකම් තහවුරු කිරීමට වඩා ප්‍රමුඛතා ඇතැයි ඇතමෙක්ට හිතෙනවා ඇත. සමාජ ආර්ථික ප්‍රශ්න නැති, කාලවකවානුවක් නොමැත. ඉහත පැහැදිලි කල අන්දමට තමන්ගේ හෝ වෙනත් පාර්ෂවයක දරුවෙක්ව තනිව හදාවඩා ගැනීමට යම් පුද්ගලයෙක් අවංක චේතනාවෙන් කැමති නම්, ඊට නීතිමය අවසරය ලබාදී, ඒ ආශ්‍රිතව ඇතිවිය හැකි ගැටළු වලටද නව නීති සකස් කර, තනි මාපිය සෙවනේ වැඩෙන දරුවන්ට උප්පැන්න සහතිකයේ සිට අධ්‍යාපනය, රැකියාව, විවාහය යන සන්ධිස්ථාන වලදී, කිසිඳු අසාධාරණයක් ඇතිනොවන ලෙස සමාජ පිලිගැනීමක් ඇතිකිරීමට අමතර පිරිවැයක් වැය නොවන නිසා, මේ සඳහා අදාල බලධාරීන් විසින් කඩිනමින් අවදානය යොමුකල යුතුයි.
- යෙනුක සිසිල්චන්ද්‍ර


0 Comments