අද තරගයට ක්‍රීඩා කළ හැකි ශ්‍රී ලංකා කණ්ඩායම මෙන්න...

 

සිම්බාබ්වේ කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ දෙවන එක්දින තරගය අද (8 වැනිදා) පස්වරු 2.30ට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට කටයුතු සූදානම් කර තිබෙන අතර තරගාවලි ජයකින් නව වසර ඇරැඹීමට නම් මෙම තරගයේ ජයග්‍රහණය අනිවාර්ය වේ.


තරගාවලියේ පළමු තරගය පසුගිය සෙනසුරාදා (6 වැනිදා) කොළඹදීම දිවා රාත්‍රි තරගයක් වශයෙන් පැවැත් වූ අතර එම තරගය වර්ෂාව හේතුවෙන් ජය පරාජයකින් තොරව නිමාවට පත් විණි.


පළමු තරගයේ කාසියේ වාසිය දිනූ නව නායක කුසල් මෙන්ඩිස් ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර, ලෝක කුසලානය මග හැරුණු අවිශ්ක ප්‍රනාන්දු, සහන් ආරච්චිගේ සහ ජෙෆ්‍රි වැන්ඩර්සේ නැවතත් ශ්‍රී ලංකා කණ්ඩායමට කැඳවීමටත් ජනිත් ලියනගේට එක්දින වරම් ලබා දීමටත් තීරණය වී තිබුණි.


නිත්‍ය ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක උණ රෝගී තත්ත්වයක් හේතුවෙන් කණ්ඩායමෙන් ඉවත් වූ අතර ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් වශයෙන් කුසල් මෙන්ඩිස් සහ අවිශ්ක ප්‍රනාන්දු කටයුතු කළේය.


ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 273ක් රැස් කරගත් අතර නව උප නායක චරිත් අසලංක නව වසරේ ශ්‍රී ලාංකිකයෙකු වාර්තා කළ පළමු ජාත්‍යන්තර ශතකය රැස් කර ගැනීමට සමත් විය.


පන්දු 95ක් තුළ හතරේ පහර 5ක් සහ හයේ පහර 4ක් සමගින් චරිත් අසලංක ලකුණු 101ක් රැස් කරගත්තේය. වෙනත් කිසිඳු ලාංකික පිතිකරුවෙකු ලකුණු 50 සීමාව ඉක්මවා නොගියත් සාර්ථ ආරම්භයන් ලබාගත් මෙන්ඩිස් සහ සධීර ලකුණු 46ක් සහ 41ක් බැගින් රැස් කරගත්තේය.


ලකුණු 274ක ඉලක්කයක් හඹාගිය සිම්බාබ්වේ ඉනිමේ සිව්වන පන්දුවාරය වන විට තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වූ අතර ඒ වන විට සිම්බාබ්වේ ඉනිම කඩුලු 2ක් දැවී ලකුණු 12ක් වශයෙන් වාර්තා විය.


තරගාවලියේ දෙවන තරගය පැවැත්වෙන අද දිනයේත් කොළඹ අවට ප්‍රදේශ සඳහා වර්ෂාවෙන් බාධා එල්ල වනු ඇතැයි කාලගුණ අනාවැකි පළ වී තිබෙන අතර, බොහෝවිට අද තරගයත් අත හැර දැමීමට හෝ අඩු පන්දුවාර සංඛ්‍යාවක තරගයක් ලෙසින් පවත්වනු ඇතැයි විශ්වාස කෙරේ.


මේ හේතුවෙන් අද දිනයේදී ක්‍රීඩා කරන කණ්ඩායම පළමු තරගයේ ක්‍රීඩා කළ කණ්ඩායමට වඩා වැඩි වෙනසක් නොවනු ඇතැයි විශ්වාස කළ හැක.


පළමු තරගය අතරවාරයේ ශ්‍රී ලංකා පිතිකරුවන් වේගය අඩාළ පන්දු සඳහා සහ වැඩි ඉල්පීමක් සහිත පන්දු සඳහා දැක් වූ දුර්වලතාවය කැපී පෙණුනු අතර අද දිනයේදීත් ප්‍රතිවාදී පන්දු යවන්නන් මෙම දුර්වලතාවය ඉලක්ක කරනු ඇත.


එමෙන්ම චරිත් අසලංක හැර අනෙක් මැද පෙළ පිතිකරුවන් සියල්ලන්ම පාහේ දැක් වූ අනවශ්‍ය කලබලය සහ අපරීක්ෂාකාරී ස්වභාවය පිළිබඳවත් ප්‍රතිවාදී පන්දු යවන්නන් ඉලක්ක කරනු ඇත.


සිම්බාබ්වේ කණ්ඩායම නිත්‍ය පිතිකරුවන්ට එරෙහිව යාර 30 තුළ සිටිය යුතු පන්දු රකින්නන් යාර 30 සීමාව ආසන්නයේත් මැද පෙළ සහ අවසන් පිතිකරුවන්ට එරෙහිව යාර 30 තුළ සිටිය යුතු ක්‍රීඩකයින් යාර 20 -15ත් අතර රඳවා තිබුණු අතර මෙම සැලැස්ම පිළිබඳවත් ශ්‍රී ලංකා කණ්ඩායම අවධානය යොමු කළ යුතු වේ.


බොහෝදුරට අද තරගය සඳහාත් පෙර තරගය සඳහා නම් වූ කණ්ඩායමම තරග වැදීමට ඉඩ ඇති අතර සවස්යාමය වන විට වර්ෂාවක් ඇති නොවීමේ ඉඩක් ඇති වුවහොත් අමතර දඟ පන්දු යවන්නෙක් කැඳවීමේ ඉඩක්ද පවතින අතර නොම්මර 6 පිතිකරණ ස්ථානය සඳහා සහන් වෙනුවට නුවනිඳු ප්‍රනාන්දු කැඳවීමේ ඉඩක්ද ඇත.


ක්‍රීඩා කළ හැකි ශ්‍රී ලංකා කණ්ඩායම -


අවිශ්ක ප්‍රනාන්දු

කුසල් මෙන්ඩිස් (නායක)

සධීර සමරවික්‍රම

ජනිත් ලියනගේ

චරිත් අසලංක

සහන් ආරච්චිගේ

දසුන් ශානක

මහීෂ් තීක්ෂණ

දුශ්මන්ත චමීර

දිල්ශාන් මධුශංක

ජෙෆ්‍රි වැන්ඩර්සේ

Post a Comment

0 Comments