චන්ද්‍රිකා, සිරිසේන එකතුවී හදන සංධානය⁣ට යන වාමාංශිකයන් කවුද ?

 


ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණවලට තරඟ කිරීම සදහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මූලික කරගනිමින් ගොඩනගන නව සංධානයේ නායකත්වය හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංගට ලබාදීමට එම පක්ෂය තීරණය කර ඇතැයි ද, ඇය ඒ සඳහා කැමැත්ත පළකර ඇතැයිද, එම සංධානය ගොඩනැගීම සඳහා වමේ පක්ෂ සමඟ සිදුකළ සාකච්ඡා මේ වන විටත් අවසන් කර ඇතැයිද සති අන්ත පුවත්පත් වල පළකර තිබුණි.

මේ පිළිබඳව විමසීමේදී පාර්ලිමේන්තුව නියෝජනය කරන එක් වාමාංශික දේශපාලන පක්ෂයක නායකයෙකු පැවසුවේ විජය කුමාරතුංග මහතාගේ අභාවයෙන් පසුව එක්සත් සමාජවාදී පෙරමුණේ නායිකාව ලෙස සිටි චන්ද්‍රිකා එය අතහැර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායිකාව වෙමින් පොදුජන පෙරමුණේ නායිකාව වූ බවත්,එහෙත් ඇය බලය⁣ට පත්වීමෙන් පසුව ඇයගේ ක්‍රියාකලාපය ⁣කෙලවර කළේ අන්ත දක්ෂිණාංශික ප්‍රතිගාමී නායිකාවක ලෙසින් බවත් පැවසීය. ජනතා ඉනිමගට පයින් ගැසූ ඇය ජේ.ආර් ජයවර්ධනගේ ආර්ථික මාවත වූ නව ලිබරල් මාවතට පිවිසෙමින් ජාතික සම්පත් අනූගණනක් විකිණූවේය, රාජ්‍ය වැවිලිකරය කොම්පැනිවලට පාවා දුන්නාය. වාමාංශික හා ප්‍රගතිශීලී බලවේගයේ ප්‍රාර්ථනාවන් අතරමං කළ නායිිකාවක් ලෙස දක්වා ඇයගේ ක්‍රියා කලාපයට විරුද්ධව  වාසුදේව නානායක්කාර ප්‍රථමයෙන්  විපක්ෂයේ අසුන් ගත්තේය .එවැනි නායිකාවක් අද නැවත නායිකාව ලෙස පත්කර ගෙන අටවන්නට යන සංධානයට එකතුවන වාමාංශිකයන් කවුද? යන්න පිළිබඳව මේ රටේ ප්‍රගතිශීලී  ජනතාව විමසිල්ලෙන් බලා සිටින බවද එම වාමාංශික නායකයා පැවසීය .

එසේම මැද මාවත පාවාදී යහපාලනයේ නාමයෙන්  රනිල් සමඟ එකතුවූ සිරිසේන හා චන්ද්‍රිකා නායකත්වයේ තබාගෙන නැවත  සංධාන පිහිටුවීමට සැබෑ වාමාංශික නායකයන්ට නම් නොහැකි බවත්, චන්ද්‍රිකා දකුණට ගමන් කරද්දීත් සමහර වාමාංශික  පක්ෂ නායකයන් ඇයට තුරුලුවී සිටි තත්වයක් තුල අද ඇයත් සමග නැවත එකතුවීම පුදුමයට කරුණක් නොවන බවද  ඔහු වැඩිදුරටත් පැවසීය.

- විමර්ශක

තවත් පුවත් : 

Post a Comment

0 Comments