අධිබලැති ස්කෑනරයක් විකිණීමට ගිය වෛද්‍යවරයෙකු ඇතුලු තිදෙනෙක් අත්අඩංගුවට…

 

වව්නියාව නගරයේදී විකිණීම සඳහා රැගෙන ගියේ යැයි සැකකෙරෙන අධි බලැති ස්කෑනර් යන්ත්‍රයක් සමගින් වෛද්‍යවරයෙකු ඇතුලු තිදෙනෙකු අත්අඩංගුවට ගත් බවට වව්නියාව පොලිස් කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යංශය පවසයි.

රාජ්‍ය බුද්ධි අංශයට , කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යංශයට අනියුක්ත මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන්ට ලැබුනු විශේෂ තොරතුරකට අනුව වන්නි දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිතුමන්ගේ උපදෙස් පරිදි පොලිස් නිලධාරීන් පිරිසක් වව්නියාව නගරයේ සිදුකල විශේෂ සෝදිසියකදී මෙම ස්කෑනර් යන්ත්‍රය සොයාගනු ලැබීය.

ඒහිදී සැකකරුවන් කාර් රථයකින් සහ වෑන් රථයකින් වව්නියාව නගරයේ ගමන්කරමින් සිටියදී වැටලීම සිදුකොට ඇති අතර වැටලීම සිදුකරන අවස්ථාවේදී තමන් වෛද්‍යවරයෙකු බව පවසමින් කාර් රථයේ පුද්ගලයෙකු ඉන් මිදී යාමට උත්සහ දරා ඇත.

කිසිදු අනුමැතියකින් තොරව බලපත්‍ර නොමැතිව විදෙස් රටක නිශ්පාදිත මෙම ස්කෑනර් යන්ත්‍රය රැගෙන යමින් සිටියදී කාර් රථයේ සහ වෑණ් රථයේ සිටි තිදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබූ අතර එය වෙනත් අයෙකුට රුපියල් ලක්ෂ 15 කට විකිණීම සඳහා රැගෙන ගොස් ඇතැයිද පොලීසියට අනාවරනය වී ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර 38 හැවිරිදි කලාවැව ප්‍රදේශයේ පදිංචි වෛද්‍යවරයෙකු සහ 31 හැවිරිදි වව්නියාව මණිපුරම් ප්‍රදේශයේ පදිංචි අයෙකු මෙන්ම 36 හැවිරිදි වව්නියාව කූමාන්කුලම් ප්‍රදේශයේ පදිංචි යන අය වෙයි.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීමෙන් පසුව වව්නියාව මහෙස්ත්‍රාත් අධිකරණය වෙතට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇතැයිද වව්නියාව කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යංශය වැඩිදුරටත් පැවසීය.

Post a Comment

0 Comments