රතු මුහුදට යුද නැවක් යැවීමෙන් අපේ නොබැඳි විදේශ පිළිවෙත උල්ලංඝනය වෙනවා! ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් පවසයි ...



ලංකාව අනාදිමත් කාලයක සිට අනුගමනය කළ නොබැඳි විදේශ ප්‍රතිපත්තිය, රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා විසින් නාවික හමුදාව සහිත යුද නැවක් රතු මුහුදු ප්‍රදේශයට යැවීමට කටයුතු කිරීමෙන් උල්ලංඝනය වන බවත්,මේ හේතුවෙන් හුති සටන්කාමීන්ගේ ඉලක්කයක් බවට ශ්‍රී ලංකාව හා නාවික යාත්‍රා පත්වන බව ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ජී.වීරසිංහ නිවේදනයක් නිකුත් කරමින්  සඳහන් කරයි.

ශ්‍රී ලංකාවේ යුද නැවක් රතු මුහුදු ප්‍රදේශයට යැවීමට ආණ්ඩුව  ගන්නා ක්‍රියාමාර්ගය වහා නවතන ලෙස හා මෙම උත්සාහය සියලු දේශපාලන පක්ෂ මැදිහත් වී නවතා දැමිය යුතු බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

එසේම අරාබි ලෝකයේ හා ප්‍රධාන අරාබි රටවල නොමනාපයට මෙම ක්‍රියාව හේතුවක් වන බවත් ,ශ්‍රී ලංකාවට ඍජුවම බල නොපාන සටනකට රට ඇදගෙන යාම තුලින් ජාත්‍යන්තර ප්‍රජාව ඉදිරියේ ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය කෙලෙසීයාම  සිදුවන බවද ලේකම්වරයා එම නිවේදනයේ සඳහන් කර තිබේ .

Post a Comment

0 Comments