පාලකයන්ගේ දැඩි මර්ධනය මැද විදුලිබල මණ්ඩලයේ සේවකයෝ ඵෙතිහාසික සටනක!



විදුලි බල සේවය අත්‍යවශ්‍ය සේවාවක් ලෙසට නියෝග නිකුත් කර තිබියදී හා විදුලි බල මණ්ඩලයේ සේවා වලට බාධා කරන හෝ නිකුත් කර ඇති මාර්ගෝපදේශයන් කඩ කරන සේවකයන්ගේ සේවය අත්හිටුවන බවට කාංචන ඇමති දන්වා තිබියදීත් ,එම මර්ධනය  නොතකා ඊයේත්,අදත් දහස් ගණනක් සේවකයෝ විදුලි බල මණ්ඩලයේ  කොළඹ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිටට පැමිණ ලංකා විදුලි බල මණ්ඩලය කොටස් කර විකිණීමට එරෙහිව අදත් දැවැන්ත විරෝධතාවයක් පැවැත්විය . විදුලි බල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තිය සමිති සංධානය මෙහෙයවන  දින තුනක දැවැන්ත විරෝධතා ව්‍යාපාරයේ දෙවන දිනය වූ අදත් එය ඉතා සාර්ථක ව පැවැත්විණි.

 මෙම විරෝධතා ව්‍යාපාරයට සම්බන්ධ වූ සේවකයින් අමතා ඒ.වෘ.ස.ස.නායකයන් පැවසුවේ මේ පනත සම්මත වුවහොත් විදුලි බල මණ්ඩලය කොටස් වලට කඩා විකුණන බවත්, මෙය රටේ බලශක්ති ස්වෛරීත්වය⁣ට මරු පහරක්  බවත්,මේ වටිනා වස්තුව විකිණීමට කාංචනට හෝ රනිල්ට ඉඩ නොදෙන බවත් එය දිවිහිමියෙන් රැකගන්නා බවත් මහා ඔල්වරසන් මැද පැවසීය .

    තවදුරටත් අදහස් දැක්වූ ඔවුන් පැවසුවේ කාංචන හිතාගෙන ඉන්නේ ඔහු වීරයෙක් කියල නම් මේ සටනින් ඔහු අමතක නොවන  පාඩමක්  ඉගෙන ගන්නා බවයි .

එසේම ඔවුන් පැවසුවේ අද දින මේ රැස්වී සිටින දහස් ගණන් සේවකයන් විදුලි බල මණ්ඩලයට අයත් සේවකයන් පමණක් බවත් ,ඉදිරි කාලයේදී ආණ්ඩුව විකිණීමට සූදානම් කර ඇති  රක්ෂණ ,දුම්රිය ,තැපැල් ,මාර්ග ,ටෙලිකොම් ඇතුළු ආයතන වල සේවකයන් සමඟ එක්වී මහා වැඩ වර්ජන ක්‍රියාමාර්ගයක් හරහා ජාතික සම්පත් සියල්ල  රැකගැනීමට කටයුතු කරන බවයිි.

Post a Comment

0 Comments