ඉමදූව ප්‍රාදේශීය සංවර්ධන කමිටුව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාරගේ ප්‍රධානත්වයෙන් ඊයේ (06) ඉමදූව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්වුණ අතර එහිදී සංචාරක වීසා ඇතිව ශ්‍රී ලංකාවට පැමිණ වෙළඳාමේ නියැලෙන රුසියානු ජාතිකයින් ගැන දැඩි පියවර ගන්නා ලෙසත් වෙළඳාම් කටයුතු සඳහා වෙළඳ වීසා තිබීම අනිවාර්ය කොට සැලකිය යුතු බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.
සංචාරක වීසා ඇතිව මෙරටට පැමිණ වෙළඳාමේ නියැලෙන රුසියානුවන් පිළිබඳව ඒ අනුව දැඩි පියවර ගන්නා ලෙස පොලිසියට උපදෙස් ලබා දුන්නේය.
අහංගම ප්‍රදේශයේ බොහෝ ව්‍යාපාර කරන්නේ රුසියානු ජාතිකයින් බවට වන පැහැදිලිකිරීම් සහ පැමිණිලි පිළිබඳව අමාත්‍යවරයාගේ අවධානය යොමු කෙරුණු අතර සති දෙකකින් එවැනි ස්ථාන කරා තමන් පැමිණෙන බවද එහිදී අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
"මේ ගැන ආගමන විගමන දෙපාර්තමේන්තුවට පැමිණිලි කර තිබෙනවාද? ඒ සඳහා තොරතුරු දෙන්න. ඒ සමග වැටලීම් කරන්න. සංචාරක වීසාවලින් කිසිසේත්ම වෙළඳාම් කරන්න බෑ. මම තව සති දෙකකින් ඒ ස්ථානවලට එනවා. ඕනෑම චක්‍රලේඛයක ඒ සඳහා ප්‍රතිපාදන තිබෙනවා. මොනම ව්‍යාපාරයක්වත් සංචාරක වීසාවලට කරන්න බෑ. ආයතන ලියාපදිංචි කිරීමවත් බෑ." යනුවෙන් අමාත්‍යවරයා ගැටලුව සම්බන්ධයෙන් ප්‍රකාශ කළේය.
විමධ්‍යගත ප්‍රතිපාදන වශයෙන් අමාත්‍යවරයාට හිමි වූ ප්‍රතිපාදන ඉමදූවට සහ හබරාදූව ප්‍රදේශවලට තමන් යෙදවූ බවත් මාර්ග කාපට් කිරීමේ අවශ්‍යතාව බෙහෙවින් තිබෙන ඉමදූවේ මීටර් 11,850ක් කාපට් කිරීමට කටයුතු කළ බවත් අමාත්‍යවරයා සම්බන්ධීකරණ රැස්වීම ආරම්භයේදී ප්‍රකාශ කළේය.
2024 වර්ෂය සඳහා ඉමදූව ප්‍රදේශයේ ප්‍රමුඛතා දිය යුතු ගැටලු ගණනාවක් සඳහන් වන යෝජනා අමාත්‍ය අනුමැතිය සඳහා එහිදී යොමු කෙරිණි.
"පළාත් පාලන ආයතන හරහා සංචාරක කටයුතුවලට මුදල් ලබාගැනීමේ අවස්ථාව සැකසී තිබෙනවා.
ඒ නිසා ඉමදූව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අය යෝජනා ටික පළාත් පාලන අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල්ට යවන්න. අති අධි අවදානම් පවුල් කවුද යන්න අපි ඉතා හොඳින් හඳුනාගැනීම සිදු කළා.
ඔවුන්ට උපකාර කළා. ඒ අයව යම් මට්ටමකින් ඉහළට ගැනීමට හැකි වෙලා තියෙනවා. ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා සඳහා ඊශ්‍රායෙල් රාජ්‍යයට ඉතා ඉහළ වැටුපකට යා හැකි අයට ඉදිරියටත් ඉල්ලුම් කිරීමට අවස්ථාව සලසා දී තිබෙනවා. එමගින් අධි අවදානම් පවුල් ගොඩනගාගැනීමට අපට හැකි වී තිබෙනවා.
අස්වැසුම ව්‍යාපෘතිය කෙරෙන් ලක්ෂ 24කින් ලක්ෂ පහළොවක් පමණ පවුල් තෝරාගෙන අවසන්. මීට අවුරුදු දෙකකට කලින් රට මැයි මාසයේ හිටිය තත්ත්වයට ඒමයි අපි කළ යුත්තේ. ලක්ෂයක් ළමුන් තෝරාගෙන ඔවුන්ට අධ්‍යාපනය කරගෙන යාමට ශිෂ්‍යත්ව ලබා දීමට කටයුතු කරනවා.
සියලු සංවර්ධන කටයුතු යළි පණගැන්වී තිබෙනවා. රජයට හදිසියකදී ගත හැකි අතිරේක මුදලක් ආණ්ඩුවක් හැටියට තියාගෙන ඉන්නවා. මීට කලින් කළේ එහෙම ගැටලුවක් ආවම කළේ මුදල් අච්චු ගහන එක. ඒකෙන් උද්ධමනය ඉහළට ගියා. ඩොලරයේ මිල අඩු වී, පිටරටින් එන මුදල් වැඩි වී, අපනයන ඉහළ ගියොත් අපිට විදුලි බිල වගේම ඉන්ධන මිලත් තව අඩු කරගැනීමට පුළුවන්. කාන්තා දිනයේදී අපට මීට වඩා හොඳ ආරංචි ටිකක් අහන්නට ලැබෙයි." යනුවෙන්ද සාකච්ඡාවේදී අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරුන් වන මහජන සම්බන්ධතා නිලධාරී සුනෙත් අතුකෝරල හා දේශප්‍රිය ලියනගේ, ඉමදූව වැඩ බලන ප්‍රාදේශීය ලේකම්වරිය, රජයේ දෙපාර්තමේන්තු නියෝජනය කරන නිලධාරීහු සම්බන්ධීකරණ කමිටුවේ කටයුතු සඳහා සහභාගි වූහ.
තවත් පුවත් :
0 Comments