පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මඟින් අත්අඩංගුවට ගනු ලබන මත්ද්‍රව්‍ය තොග ජාවාරම් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන ඇපමත මුදා හැර සිටින එම කාර්යාංශයට අනුයුක්තව සිටි පොලිස් නිලධාරීන් පිරිසකට එරෙහිව අධිචෝදනා ඉදිරිපත් කිරීම සඳහා කරුණු සලකා බලමින් සිටින බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.
කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව තමන්ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම තුළින් සිය මූලික මිනිස් අයිතීන් උල්ලංඝනය වූ බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ හිටපු උප පොලිස් පරීක්ෂක උදාර චතුරංග ප්‍රේමසිරි මහතා විසින් ඉදිරිපත් කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඊයේ (01) සලකා බැලූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා මේ බව සඳහන් කර සිටියේය.
මෙම පෙත්සම ප්‍රීති පද්මන් සූරසේන, ශිරාන් ගුණරත්න සහ මහින්ද සමයවර්ධන යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ සලකා බැලුණි.
එම අවස්ථාවේදී නීතිපතිවරයා ඇතුළු වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් 2020 වසරේ ජූනි මස 08 වනදා මිනුවන්ගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ ටයිල් චමින්ද නමැත්තෙකු ගමන් ගත් ජීප් රථයේ තිබී මත්ද්‍රව්‍ය ග්‍රෑම් 05ක් සොයා ගත් බවත් පසුව පොලීසිය විසින් මෙම පුද්ගලයාගේ බැංකු ගිණුම් පරීක්ෂා කළ අතර දින 10ක් තුළ ඔහුගේ ගිණුමේ රුපියල් මිලියන 20ක මුදලක් හුවමාරු වු බව සොයාගෙන තිබූ බවත් කියා සිටියේය.
පසුව මෙම පුද්ගලයාගෙන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් පරීක්ෂක රුවන් කුමාර විසින් ප්‍රශ්න කළ අතර ඩුබායි හි සිටින ගිහාන් ෆොන්සේකා නමැත්තාගේ මත්ද්‍රව්‍ය මෙම ටයිල් චමින්ද විසින් ජාවාරම් කරන බවට කරුණු අනාවරණය වූ අතර මෙම ජාවාරමට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට අනුයුක්තව සිටි පෙත්සම්කාර උප පොලිස් පරීක්ෂක උදාර ඇතුළු නිලධාරීන් පිරිසක් සම්බන්ධ වී ඇති බවට තොරතුරු අනාවරණය වූ බවත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා සඳහන් කළේය.
ඊට අමතරව පෙත්සම්කරු ඇතුළු සැකකරුවන් පිරිසක් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අත්අඩංගුවට ගනු ලබන මත්ද්‍රව්‍ය සොරකම් කර ජාවාරම් කිරීම පිළිබඳ වැඩිදුර තොරතුරු අනාවරණය වූ බවත් ඔහු කියා සිටියේය.
ටයිල් චමින්ද විසින් පොලීසියට ලබාදුන් ප්‍රකාශයට අනුව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන්ට තමා මත්ද්‍රව්‍ය තොග ලබාදුන් බව පිළිගෙන තිබෙන බවත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා කියා සිටියේය.
මෙම පෙත්සම්කාර උප පොලිස් පරීක්ෂක උදාර ඇතුළු පිරිසක් කොවිඩ් වසංගත සමයේ මාතර සිට මාදිවෙල ප්‍රදේශය දක්වා වාහනයකින් හෙරොයින් මත්කුඩු පාර්සල් 200කට ආසන්න ප්‍රමාණයක් ප්‍රවාහනය කර තිබූ බවත් එම කටයුතු සඳහා දිනකට රුපියල් 5000/-ක් බැගින් කුලී පදනම යටතේ පෙත්සම්කරු විසින් පුද්ගලික වාහනයක් ලබාගෙන තිබූ බවත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා කියා සිටියේය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකාර පොලිස් කොස්තාපල්වරයෙකුගේ නිවසේ සඟවා තිබු රුපියල් ලක්ෂ 323කට අධික මුදලක් සොයා ගත් බවත් තවත් සැකකරුවකු වූ වන්නිආරච්චි නමැති නිලධාරියා භාරයේ තිබී මත්ද්‍රව්‍ය ග්‍රෑම් 12ක්, ගිනිඅවියක් සහ රුපියල් 5000/-ක ව්‍යජ මුදල් නෝට්ටු 31ක් විමර්ශනවලදී සොයා ගනු ලැබූ බවත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා සඳහන් කළේය.
පොලීස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් මෙවැනි නීතිවිරෝධී ක්‍රියාවක නිරත සිටි බවට තොරතුරු හෙළිදරව් වී තිබියදීත් එම කාර්යාංශයේ නියෝජ්‍ය පොලිස්පතිවරයා කිසිදු ක්‍රියාමාර්ගයක් නොගෙන අන්ධයෙකු සේ කටයුතු කළ බවත් මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයා සහ හිටපු අධ්‍යක්ෂවරයා නම් නොකිරීමට පෙත්සම්කරු වගබලා ගෙන තිබෙන බවත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා පැවසුවේය.
ඉන් අනතුරුව පොලිස්පතිවරයාගේ නියමයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මීට අදාළ විමර්ශනයක් ආරම්භ කළ බව කී නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා මෙම මත්ද්‍රව්‍ය ජාවාරමට අදාළව සැකපිට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් 13 දෙනෙකු අත්අඩංගුවට ගත් බවත් අනාවරණය කළේය.
මෙම පෙත්සම්කරු ඇතුළු සැකකාර පොලිස් නිලධාරීන්ට එරෙහිව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ ද විමර්ශන සිදුකෙරෙන බවත් ඔවුන්ට එරෙහිව අධිචෝදනා ගොනුකිරීම සඳහා කරුණු සලකා බලමින් තිබෙන බවත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා වැඩිදුරටත් අධිකරණය හමුවේ සඳහන් කර සිටියේය.
මෙම සිද්ධියට අදාළව ගොනුකර තිබූ තවත් පෙත්සමක වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජ්‍යේෂ්ඨ රජයේ නීතිඥ ශමින්ද වික්‍රම මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සිද්ධියට අදාළව ඇප මත මුදා හැර සිටින පොලිස් නිලධාරීන් යළි සේවයට අනුයුක්ත කර ගැනීම නිසා සාක්ෂිකරුවන්ට තර්ජනයක් එල්ල වී තිබෙන බව පෙන්වා දුන්නේය.
මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙසත් ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
ඉන් අනතුරුව වැඩිදුර පෙත්සම් සලකා බැලීම කල් තැබීමට ද ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල කටයුතු කළහ.
තවත් න්පුවත් :
0 Comments