සර්වෝදය නිර්මාතෘ ඒ.ටී ආරියරත්න ශ්‍රීමතාණන් දැයෙන් සමුගනී.


සර්වෝදය ශ්‍රමදාන ව්‍යාපාරයේ නිර්මාතෘ ආචාර්ය ඒ.ටී ආරියරත්න මැතිතුමා, ඊයේ දින එනම් 2024 අප්‍රේල් 16වැනිදා දැයෙන් සමුගත්තේ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ගනිමින් සිටියදීය. මිය යන විට, එතුමා 93 වැනි වියේ පසු වී ඇත. 

1931 දී ගාල්ල ද්‍රිස්තික්කයේ, උණවටුන ප්‍රදේශයේදී උපත ලද ආචාර්ය ආරියරත්න මහතා ප්‍රාථමික අධ්‍යාපනය බොනවිස්ටා විද්‍යාලයෙන්ද, ද්විතීයික අධ්‍යාපනය ගාල්ල මහින්ද විද්‍යාලයෙන් ද, උසස් අධ්‍යාපනය විද්‍යෝදය විශ්වවිද්‍යාලයෙන් ද ලැබීය. කොළඹ නාලන්දා විද්‍යාලයෙන් ගුරු වෘත්තිය ආරම්භ කළ ඔහු එහි දී උසස් පෙළ පාසල් සිසුන් හතළිස් දෙනෙකු සහ ගුරුවරුන් දොළොස් දෙනෙකු අධ්‍යාපන චාරිකාවක් සඳහා රැගෙන ගියේ කුලහීන යැයි සැලකෙන ගමකටය. මෙම අමතක නොවන සංචාරයේදී ආචාර්ය ආරියරත්නයන් සිය සිසුන්ට සහ ගුරුවරුන්ට සිය ශ්‍රමය, චින්තනය සහ ශක්තිය ගම්වාසීන් සමඟ බෙදා හදා ගැනීමේ මඟ පෙන්වූ අතර ඔවුන්ගේ ගම සංවර්ධනය කිරීමට සහාය වූයේය. 1958 වසරේදී පළමු ශ්‍රමදාන කඳවුර සර්වෝදය ශ්‍රමදාන ව්‍යපාරයේ ආරම්භය සනිටුහන් කළේය.

එහි ආරම්භයේ සිටම සර්වෝදය ශ්‍රමදාන ව්‍යාපාරය ඔහු විසින් හඳුන්වන ලද්දේ තිරසාර සංවර්ධනය සහ සාමය සඳහා බුදුන්වහන්සේගේ මඟ අනුගමනය කිරීමක් ලෙසය. ප්‍රජාවගේ අධ්‍යාත්මික, සදාචාරාත්මක, සංස්කෘතික, සමාජයීය, ආර්ථික සහ දේශපාලන ජීවිතයේ උන්නතිය සඳහා බුදුන්වහන්සේගේ ඉගැන්වීම් යොදාගත හැකි ආකාරය ඔහු ප්‍රායෝගිකව පෙන්වා දුන්නේය. සතර බ්‍රහ්ම විහරණ, සතර සංග්‍රහ වස්තු, දසරාජ ධර්ම දස පාරමිතා, සප්ත අපරිහානීය ධර්ම, චතුරාර්ය සත්‍යය, ආර්ය අෂ්ටාංගික මාර්ගය, නොයෙක් සූත්‍ර ධර්මයන් ආදී ඉගැන්වීම් ඔහු ඉතා ප්‍රායෝගික ලෙස හින්දු, මුස්ලිම් සහ ක්‍රිස්තියානි වැනි බෞද්ධ නොවන ප්‍රජාවන් ද ඇතුලත් ග්‍රාමීය ප්‍රජාවන් 15,000 කගේ එදිනෙදා ජීවිතයට හඳුන්වා දුන්නේය. ඔහු සිය සගයන් හා එක්ව, බුදුන් වහන්සේගේ ඉගැන්වීම් මත පදනම්වූ, සියළු දෙනාම මට්ටම් හයකින් අවදි කිරීමේ න්‍යායාත්මක හා ප්‍රයෝගික පුහුණුවක් සර්වෝදය නමින් වර්ධනය කළේය. පෞරුෂෝදය (මානව පෞරුෂයේ උදාව), කුටුම්බෝදය (පවුලේ උදාව), ග්‍රමෝදය (ගමේ උදාව), නගරෝදය (නාගරයේ උදාව) දේශෝදය (ජාතියේ උදාව) සහ විශ්වෝදය (ලෝකයේ විශ්වයේ උදාව).

දශක 7කට ආසන්න කාලයක්, සර්වෝදය ශ්‍රී ලංකාවේ විශාලතම රාජ්‍ය නොවන ව්‍යාපාරය ලෙස සිය සේවය අඛණ්ඩව කරගෙන යන අතර ආචාර්ය ආරියරත්නයන් ජාතිය සහ එහි ජනතාව වෙනුවෙන් කළ කැපවීම අගයන ජාතික හා ජාත්‍යන්තර සම්මාන රාශියක් ලබා ඇත. ඔහු 2007 දී ඉහළම ජාතික සම්මානය වන ශ්‍රී ලංකාභිමාන්‍ය සම්මානය ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා අතින් ද, 1969 දී ප්‍රජා නායකත්වය සඳහා රැමන් මැග්සේසේ සම්මානය (පිලිපීනය), 1982 දී සාමය හා මානව යහපැවැත්ම සඳහා ඔහුගේ දායකත්වය වෙනුවෙන් බෝඩොයින් රාජ්‍ය සම්මානයද (බෙල්ජියම), 1992 නිවානෝ සාම ත්‍යාගය (ජපානය) සහ 1996 දී මහත්මා ගාන්ධි සාම ත්‍යාගය (ඉන්දියාව) වැනි බොහෝ වූ ජාත්‍යන්තර සම්මානද ඔහු වෙත පිරිනැමුනි. ආචාර්ය ආරියරත්න මහතා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් Doctor of Letters (D.Litt) උපාධියෙන්ද හා පිලිපීනයේ එමිලෝ එගුනැල්ඩෝ විද්‍යාලය ( Emilo Aguinaldo College ) වෙතින් Doctor of Humanities (D.H.) උපාධියෙන් ද පිදුම් ලැබීය.

1989 ජනාධිපතිවරණයෙන් අනතුරුව අභිනව ජනාධිපතිවරයා විසින් ඒ.ටී ආරියරත්න මැතිතුමාට ආරධනා කලේ අග්‍රාමාත්‍යධූරයේ දිවුරුම් දීමට සූදානම් වන ලෙසය. දේශපාලනයට සම්බන්ධ නොවී සිවිල් ක්‍රියාකාරිකයෙකු ලෙස සිය ගමන යන බවට පවසමින් අග්‍රාමාත්‍යධූරය ප්‍රතික්ෂේප කල එතුමා, කිසිඳු දේශපාලන නායකයෙකුට කල නොහැකි වූ සමාජ සේවයක් ඉටුකලේය. 

මියයන තුරුම, ජනතාව සමග එකතු වී, ජනතාව වෙනුවෙන් සමාජ විප්ලවයක නිරත වූ ආරියරත්න මැතිතුමාගේ බිරිඳ වූ නීතා ආරියරත්න මැතිණියද එතුමාගේ සමාජ සත්කාර සඳහා සක්‍රීයව සහභාගි වෙයි. එමෙන්ම විවිධ ක්ෂේත්‍ර වලින් ඉදිරියටම පැමිණි දූ පුතුන් හය දෙනෙක්ද ( වින්‍යා ආරියරත්න, චාරිකා ආරියරත්න, ජීවන් ආරියරත්න, සදී ආරියරත්න, දියත් ආරියරත්න, නිම්නා ආරියරත්න) රටට දායදකල එතුමන්ට මුණුපුර මිණිපිරියන් දොලොස් දෙදෙනෙකුද සිටී. 

ලාංකීය ගාන්ධි ලෙස හැඳින්වූ ඒ.ටී ආරියරත්න ශ්‍රීමතාණන් දැයෙන් සමුගත්තත්, එතුමාගේ නාමය, ශ්‍රී ලංකාව තුලත්, ජාත්‍යන්තරවත් සදා අමරණීය වෙයි. මහජන ගෞරවය සඳහා එතුමාගේ දේහය අප්‍රේල් 19 වැනි සිකුරාදා වනතුරු සර්වෝදය මූලස්ථානයේ තැන්පත් කරන අතර, අවසන් කටයුතු අප්‍රේල් 20 වැනි සෙනසුරාදා නිදහස් චතුරස්‍රයේදී සිදුකෙරේ.



- යෙනුක සිසිල්චන්ද්‍ර

තවත් පුවත් : 

Post a Comment

0 Comments