අනුරාධපුර දේශපාලනයේ නව යුගයක්: මජර දේශපාලනය පොලොවේ ගැසූ විශිෂ්ට ජයග්‍රහණයක්.!

 


මෙවර පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජාතික ජන බලවේගය අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඉතිහාසගත විශිෂ්ට ජයග්‍රහණයක් අත්කර ගත්තේ මන්ත්‍රී ආසන 7ක් දිනා ගනිමින්ය. සමගි ජනබලවේගය දෙවන ස්ථානයට පත්වී මන්ත්‍රී ආසන 2ක් දිනා ගත් අතර, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට මන්ත්‍රී ධුර කිසිවක් හිමි නොවීය.

වසර 25කට ආසන්න කාලයක් අනුරාධපුර දිස්ත්‍රික්කය නියෝජනය කළ හිටපු ඇමැතිවරුන් වන දුමින්ද දිසානායක හා එස්. එම්. චන්ද්‍රසේන, සහ වසර 09කට ආසන්න කාලයක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළ ඉෂාක් රහුමාන් මහතාටත්, පසුගිය මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට පැමිණි වීරසේන ගමගේ සහ කේ. පී. එස්. කුමාරසිරි මහත්වරුන්ටත් මෙවර මන්ත්‍රී ධුරය අහිමි වී තිබේ.

2024 පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී ජාතික ජන බලවේගයට අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගැනීමට හැකි විය. අනුරාධපුර දිස්ත්‍රික් මැතිවරණ ඉතිහාසය වෙනස් කරමින් ජාතික ජන බලවේගය මෙම දිස්ත්‍රික්කය ජය ගැනීම සුවිශේෂි එකක් වේ.

මෙවර අනුරාධපුර දිස්ත්‍රික්කයේ සමස්ත ජන්ද ප්‍රමාණයෙන් 65%ක් පමණ ඡන්දය භාවිතා කර තිබේ. වලංගු ජන්ද 493,418ක් ලෙස සටහන් වන අතර ප්‍රතික්ෂේපිත ජන්ද 29,150ක් වේ. ප්‍රකාෂිත මුළු ජන්ද ප්‍රමාණය 522,568ක් වන අතර, භාවිතා නොකළ ජන්ද සංඛ්‍යාව 219,394ක් බවට පත් වී ඇත.

මැතිවරණ ප්‍රතිඵල නිරීක්ෂණයේදී, පසුගිය මැතිවරණයට සාපේක්ෂව භාවිත නොකළ ජන්ද සංඛ්‍යාව ඉහළ අගයක පවතින බව දැක්විය හැක.

මේ අතර, ජාතික ජන බලවේගය මෙම මැතිවරණයෙන් 331,692ක් වූ ජන්ද සංඛ්‍යාවක් ලබා ගනිමින් මන්ත්‍රී ආසන හතක් දිනා ගැනීමට සමත් වී ඇත.

දෙවන ස්ථානයට පත් සමගි ජනබලවේගය, 98,176ක් වූ ජන්ද ප්‍රමාණයක් ලබා ගනිමින් මන්ත්‍රී ආසන දෙකක් දිනා ගැනීමට හැකි වී තිබේ. නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ 29,961ක් වූ ජන්ද ප්‍රමාණයක් ලබා ගනිමින් තෙවන ස්ථානයට පත් වූවත්, මන්ත්‍රී ආසන කිසිවක් දිනා ගැනීමට නොහැකි වී තිබේ.

Post a Comment

0 Comments