නව පුනරුද යුගයක් උදෙසා දේශපාලන ඉතිහාසයේ නව පරිච්ඡේදයක් සනිටුහන් කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ජන්ම දිනය අදට (24) යෙදී තිබෙනවා.
1968 වසරේ නොවැම්බර් මස 24 වැනිදා උපත ලැබූ දිසානායක මේ වනවිට පසුවන්නේ 56 වන වියේ යි.
උතුරු මැද පළාතේ, අනුරාධපුර දිස්ත්‍රික්කයේ – තඹුත්තේගම දී දිසානායක මුදියන්සේලාගේ රංබණ්ඩාට සහ ඔහුගේ බිරිඳ සීලවතී යුවළට දාව උපත ලැබූ ‘දිසානායක මුදියන්සේලාගේ අනුර කුමාර දිසානායක’ මෙරට නව වන විධායක ජනාධිපතිවරයා වනවා.
ඔහු පවුලේ බාල සොහොයුරා වන අතර ඔහුට වැඩිමල් සහෝදරියක් ද සිටින බව සඳහන්.
තඹුත්තේගම ප්‍රාථමික විද්‍යාලයෙන් සිය ප්‍රාථමික අධ්‍යාපනය ලබාගත් අනුර කුමාර දිසානායක, ඉන් අනතුරුව තඹුත්තේගම මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළත්ව අධ්යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය දක්වා එහි අධ්‍යාපනය හදාරනවා.
ඔහු 1988 වසරේ අගෝස්තු මාසයේ දී ගණිත අංශයෙන් උසස් පෙළ විභාගයට පෙනී සිට තඹුත්තේගම මධ්‍ය මහා විද්‍යාලයෙන් විශ්වවිද්‍යාල වරම් ලැබූ පළමු ශිෂ්‍යා බවට ද පත්වනවා.
පළමුවෙන් පේරාදේණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයට ඇතුළත්වන ඔහු, එහිදී ඇති වූ විවිධ තර්ජන හේතුවෙන් 1992 වසරේ දී කැළණිය විශ්වවිද්‍යාලයට ඇතුළත්ව 1995 වර්ෂයේ දී විද්‍යාවේදී උපාධිය ලබාගෙන තිබෙනවා.
1987 වසරේ දී එවකට පැවති ආණ්ඩුව විසින් අත්සන් කරන ලද ඉන්දු – ලංකා ගිවිසුමට එරෙහිව රට පුරා ගොඩ නැගුණු දැවැන්ත මහජන විරෝධතාකටයුතුවලට ද දිසානායක සම්බන්ධ වුණා.
වසර 1997 දී සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ජාතික සංවිධායක තනතුරට පත්ව පසුව ජනතා විමුක්ති පෙරමුණ මධ්‍යම කාරක සභාවට පත්වනවා.
අනුර කුමාර දිසානායක 1998 දී සෝමවංශ අමරසිංහ මහතාගේ නායකත්වයෙන් යුත් ජනතා විමුක්ති පෙරමුණ දේශපාලන මණ්ඩලයට පත්ව ඇති බව සඳහන්.
1999 වසරේ පැවති පළාත් සභා මැතිවරණයේ දී ජනතා විමුක්ති පෙරමුණේ මහඇමති අපේක්ෂකයා ලෙස මධ්‍යම පළාත් සභාවට තරග වදිමින් පළමු වරට දේශපාලන ප්‍රවේශය ලබා ගත්තා.
2000 වසරේ පැවති මහ මැතිවරණයේ දී ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස පළමුවරට පාර්ලිමෙන්තුවට පිවිසෙනවා.
2001 වසරේ දී පැවැත්වූ මහ මැතිවරණයෙන් ආසන 16ක් හිමි කර ගැනීමට ජනතා විමුක්ති පෙරමුණ සමත් වූ අතර එවර ද ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස ඔහු පාර්ලිමේන්තුවට පිවිසුණා.
2004 වසරේදී ජනතා විමුක්ති පෙරමුණ, පොදු පෙරමුණ සහ තවත් පාර්ශව කිහිපයක් එක්ව ‘එක්සත් ජනතා නිදහස් සන්ධානය’ පිහිටුවා ගත් අතර එම වසරේ පැවති මහ මැතිවරණයේදී කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් වැඩිම මනාප ගණන ලබා ගනිමින් ඔහු පාර්ලිමේන්තුවට නැවතත් තේරී පත්වුණා.
එම ආණ්ඩුවේ ඔහු කෘෂිකර්ම, ඉඩම්, වාරිමාර්ග සහ පශු සම්පත් අමාත්‍යවරයා ලෙස කටයුතු කළා.
2008 වසරේ දී ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායකයා ලෙස තේරී පත්වු ඔහු 2010 වසරේ දී ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස නැවතත් පාර්ලිමේන්තුවට තේරී පත්ව ඇති බව සඳහන්.
2014 වසරේ පෙබරවාරි මස 02 දින පැවති ජනතා විමුක්ති පෙරමුණේ 07 වෙනි ජාතික සම්මේලනයේ දී ජනතා විමුක්ති පෙරමුණේ පක්ෂ නායකත්වයට ඔහුව තොරා පත් කරගෙන තිබෙනවා.
ඒ අනුව අනුර කුමාර දිසානායක ජනතා විමුක්ති පෙරමුණේ 5 වැනි නායකයා වනවා.
2015 දී මහ මැතිවරණය සඳහා කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් තරග වැද මනාප ඡන්ද 65,966ක් ලබා ගනිමින් පර්ලිමේන්තුවට තෙරී පත්වනවා.
2019 වසරේ දී ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන හා දේශපාලන ක්‍රියාකාරීන් 28ක එකතුවෙන් ජාතික ජන බලවේගය නමින් නව දේශපාලන ව්‍යාපාරයක් නිර්මාණය කරනු ලැබුවා.
2019 වසරේ අගෝස්තු මස 18 වැනි දින ගාලු මුවදොර පිටියේ පැවති ජන රැලියේ දී ජාතික ජල බලවේගයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස අනුර කුමාර දිසානායක පත් කෙරුණා.
එම වසරේ මාලිමා ලකුණ යටතේ ජනාදිපතිවරණය සඳහා තරග වැදි ඔහු සියයට 3.16ක ඡන්ද ප්‍රතිඵලයක් ලබා ගෙන තෙවන ස්ථානයට පත්ව නැවතත් පාර්ලිමේන්තුවට තේරී පත් වුණා.
2020 වසරේ පාර්ලිමේන්තු මැතිවරණය සඳහා කොළඹ දිස්ත්‍රික්කයෙන් තරග වැදුනු ඔහු මනාප ඡන්ද 49,816ක් ලබා ගනිමින් පාර්ලිමේන්තු අසුනක් දිනා ගත්තා.
පසුගිය සැප්තැම්බර් මස 21වැනිදා පැවති ජනාධිපතිවරණයේ දී අනුර කුමාර දිසානායක මහතා සමස්ත ඡන්ද සංඛ්‍යාව 5,740,179ක් ජයග්‍රහණය කරමින් මෙරට 09 වන විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වුණා.
0 Comments