ශ්‍රී ලංකා කණ්ඩායමට අවමන් සහගත පරාජයක්! වාර්තාවක් අලුත් වෙයි!


ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර අද (13) දඹුල්ලේ පැවති දෙවන විස්සයි20 ක්‍රිකට් තරග‍යෙන් ලකුණු 83ක ජයක් වාර්තා කිරීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් විය.

ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් බංග්ලාදේශ කණ්ඩායම කඩුලු 7ක් දැවී ලකුණු 177ක් රැස් කිරීමට සමත් වූ අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 15යි පන්දු 2ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 94ක් පමණයි. 

ඒ අනුව, ශ්‍රී ලංකා කණ්ඩායම T20 තරගයකදී මෙරටදී ලබාගත් අඩුම ලකුණු සංඛ්‍යාව ලෙසද මෙය ඉතිහාසයට එක්විය.

එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පැතුම් නිස්සංක ලකුණු 32ක් රැස් කළ අතර දසුන් ශානක ලකුණු 20ක් රැස් කළේය.

කුසල් මෙන්ඩිස් ලකුණු 08කට දැවී ගිය අතර නායක චරිත් අසලංක ලකුණු 05කට සහ අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 02කට දැවී ගියේය.

පන්දු යැවීමේ දී රිෂාද් හොසේන් කඩුලු 3ක් දවා ගත් අතර ෂොරිෆුල් ඉස්ලාම් සහ මොහොමඩ් සයිෆුඩීන් කඩුලු 2 බැගින් ද මුස්තාෆිසුර් රහ්මන් සහ මෙහිදි හසන් මිරාස් එක් කඩුල්ල බැගින් දවා ගැනීමට සමත් විය.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 177ක් රැස් කිරීමට සමත් විය.

එහිදී බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් අගනා ඉනිමක් ක්‍රීඩා කළ නායක ලිටන් දාස් පන්දු 50කදී ලකුණු 76ක් රැස් කළේය.

ශමිම් හුසේන් ලකුණු 48ක් රැස් කළ අතර තවුහිද් රිදෝයි පන්දු 25කදී ලකුණු 31ක් රැස් කළේය.

පන්දු යැවීමේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් බිනුර ප්‍රනාන්දු කඩුලු 3ක් (3/31) දවා ගැනීමට සමත් වූ අතර නුවන් තුෂාර (1/30) හා මහීෂ් තීක්ෂණ (1/30) එක් කඩුල්ලක් බැගින් දවා ගැනීමට සමත් විය.


Post a Comment

0 Comments