අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා තවදුරටත් ලබන 26 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය ඊයේ (19) නියම කළා.
එහිදී සැකකාර හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරයා ඇප ඉල්ලීමක් සිදුකරමින් පවසා සිටියේ,
“ස්වාමීනී මෙම සිද්ධියට අදාළ ගොඩනැගිල්ල 2022 පැවති අරගලයෙන් ගිනි තැබීමට ලක් කරලා විනාශ වෙලා තියෙනපි මේ ඉඩම මහවැලි අධිකාරියට අයත් ඉඩමක් මගේ සේවාදායකයා මේ ඉඩමේ අයිතිකරු නෙවෙයි. විනාශ වූ අදාළ ගොඩනැගිල්ලට මනෝජ් ඒකනායක නැමැති පුද්ගලයෙක් තමයි වන්දි මුදල් ලබාගෙන තිබෙන්නේ.
අල්ලස් කොමිසම ඊට මගේ සේවාදායකයා කුමන්ත්‍රණය කළ බව චෝදනා කරමින් අත්අඩංගුවට ගත්තා. සිද්ධියට අදාළ ප්‍රධාන සැකකරුවන් එළියේ සිටියදී තමයි මාගේ සේවාදායකයා අත්අඩංගුවට ගෙන තිබෙන්නේ.ස්වාමීනී මෙම සිද්ධියට අදාළ සියලුම සැකකරුවන් පිළිබඳව විමර්ශනය කළ යුතුයි.
එමෙන්ම මගේ සේවාදායකයා නින්ද නොයන රෝගයකින් පෙළෙනවා. ඊට ප්‍රතිකර්මයක් ලෙස කිසියම් යන්ත්‍රයක සහයෝගය ලබා ගන්නා බවත් නීතිඥවරයා පැවසුවා. එවැන්නක් ලබා ගැනීමට නොහැකි වුවහොත් සැකකරුගේ රුධිර පීඩනය ඉහළ ගොස් මරණය පවා සිදුවිය හැකි බව පෙන්වා දුන්නා.
එමෙන්ම ඔක්තෝබර් මාසයේ ඔහු නීතී විද්‍යාලයේ පළමු වසරේ විභාගය සඳහා ද මුහුණ දීමට සිටින බැවින් සුදුසු ඇපයක් මත මාගේ සේවාදායකයා මුදා හරින ලෙස මම අධිකරණයෙන් ඉල්ලා සිටිනවා.”
අල්ලස් කොමිසමේ නිලධාරීන් හා විත්තියේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලී ජයතුංග මහත්මිය අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ශෂීන්ද්‍ර රාජපක්ෂ තවදුරටත් ලබන (26) වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියම කළාය.


0 Comments