ශ්‍රී ලංකාවේ ග්‍රාමීය සහ අවම ප්‍රතිපාදන ලබන රජයේ පාසල්වල සනීපාරක්ෂක ගැටලු රැසක්..

 ශ්‍රී ලංකාවේ පාසල්වල, විශේෂයෙන්ම ග්‍රාමීය සහ අවම ප්‍රතිපාදන ලබන රජයේ පාසල්වල සනීපාරක්ෂක තත්ත්වය මෙරට දිගු කලක සිට පවතින දැවෙන ගැටලුවකි. බොහෝ පාසල් තුල වැසිකිළි පහසුකම් ප්‍රමාණවත් පරිදි නොතිබීමත්, පිරිසිදු ජලය සඳහා ප්‍රමාණවත් ප්‍රවේශයක් නොමැතිවීම සහ අත් සේදීමේ ස්ථාන හිඟකම වැනි ගැටලුවලින් පීඩා විඳියි. මෙම අඩුපාඩු සිසුදරුවන්ගේ සනීපාරක්ෂාවට ඉතා හානි කර වෙනවා පමණක් නොව, ශිෂ්‍ය සෞඛ්‍ය, පාසල් පැමිණීම සහ ඉගෙනුම් ප්‍රතිඵල කෙරෙහි ද බලපෑම් ඇති කරයි. විශේෂයෙන්ම, පෞද්ගලිකත්වයක් නොමැතිවීම සහ ඔසප් සනීපාරක්ෂක පහසුකම්වල හිඟකම හේතුවෙන් ගැහැනු දරුවන් අමතර අභියෝගයන්ට මුහුණ දෙන අතර, එය පාසල් නොපැමිණීමටත්, ඇතැම් අවස්ථාවලදී පාසල් අධ්‍යාපනය හැර යාමට පවා හේතු වේ.

මෙම අභියෝග සඳහා ප්‍රධාන වශයෙන් මූල්‍යමය බාධාවන්, නඩත්තුවක් නොමැතිකම සහ සනීපාරක්ෂක පිළිවෙත් පිළිබඳව ප්‍රමාණවත් දැනුවත්භාවයක් නොමැතිවීම හේතු වී ඇත. නාගරික පාසල්වලට නොයෙක් යටිතල පහසුකම් යම් මට්ටමකට ලැබුණද, කුඩා ග්‍රාමීය පාසල් බොහෝ විට ක්‍රියාත්මක වන්නේ යල් පැන ගිය පහසුකම් සහිතව හෝ ඇතැම් විට කිසිදු පහසුකමක් නොමැතිවය. වැසිකිළි තිබුණද, දුර්වල නඩත්තුව, ජල සැපයුම නොමැතිකම හෝ පිරිසිදු කිරීමේ කාර්ය මණ්ඩලයක් නොසිටීම හේතුවෙන් ඒවා බොහෝ විට භාවිතයට ගත නොහැකි තත්ත්වයේ පවතී. සිසුන්ගේ සනීපාරක්ෂක අවශ්‍යතා මෙලෙස මග හැරීම නිසා දරුවන් අතර පාචනය, චර්ම රෝග සහ ශ්වසන රෝග වැනි රෝගාබාධ බෝ වීමේ වැඩි අවදානමක් අතර, මේ සියල්ලම මූලික සනීපාරක්ෂාව මගින් වළක්වා ගත හැකි දේවල් වේ. 

අවම ප්‍රතිපාදනයන් යටතේ වුවද යම්තාක් දුරකට හෝ මෙම තත්ත්වයන් වැඩිදියුණු කිරීම සඳහා නිර්මාණශීලී, ප්‍රජා මූලික විසඳුම් අවශ්‍ය වේ. දේශීයව ලබාගත හැකි ද්‍රව්‍ය භාවිත කරමින් මූලික පහසුකම් ඉදිකිරීමට හෝ අලුත්වැඩියා කිරීමට දෙමාපියන්, ප්‍රාදේශීය සංවිධාන සහ තරුණ කණ්ඩායම් එක්රැස් කර ගැනීමට පාසල්වලට හැකිය. උදාහරණයක් ලෙස ජල සම්පාදන අවශ්‍යතා සඳහා සරල ජෙරිකැන් හෝ බෝතල්වලින් සාදන ලද 'ටිපි-ටැප්' ආදී අඩු වියදම් නවෝත්පාදන ක්‍රම මගින්, මිල අධික යටිතල පහසුකම් අවශ්‍ය නොවී, නිරන්තර සනීපාරක්ෂාව තහවුරු කළ හැකිය. විශේෂයෙන්ම නළ ජලය හිඟ ප්‍රදේශවල, විධිමත් වැසි ජලය රැස් කිරීමේ පද්ධති මගින් පාසල්වලට තිරසාර ජල මූලාශ්‍ර ලබා දිය හැකිය.

ඒ සමඟම, සිසුන් සහ කාර්ය මණ්ඩලය අතර වගකීම් සහගත භාවය වර්ධනය කිරීමත් මෙවන් වැඩපිලිවෙලවල්හී තිරසාර බව සහතික කරගැනීමට උපකාරී වේ. සනීපාරක්ෂක සමාජ හඳුන්වා දීම, ශිෂ්‍ය නායකත්වයෙන් යුතු පිරිසිදු කිරීමේ කාලසටහන් ක්‍රියාත්මක කිරීම සහ නිරන්තර දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීම මගින් අයිතිය පිළිබඳ හැඟීමක් සහ වගවීමක් ඇති කළ හැකිය. රජයට සහ රාජ්‍ය නොවන සංවිධානවලට සබන්, සනීපාරක්ෂක තුවා සහ පිරිසිදුකාරක ද්‍රව්‍ය වරින් වර සැපයීම මගින් මෙම ප්‍රයත්නයන්ට අනුපූරක දායකත්වයක් සැපයිය හැකිය. සම්පත් උපායමාර්ගිකව භාවිත කිරීමෙන් සහ ප්‍රජා සහභාගීත්වය තුළින්, ශ්‍රී ලංකාවේ පාසල්වලට විශාල මූල්‍ය ආයෝජනයකින් තොරව සනීපාරක්ෂක තත්ත්වය සැලකිය යුතු ලෙස වැඩිදියුණු කර ගත හැකිය.


Post a Comment

0 Comments