2022 – 2023 ආර්ථික අර්බුදය සහ ඒ තුළින් ජනිත කළ සමාජ ඛේදවාචකය ඕපපාතික ක්‍රියාවක් නොවන බවත් ඒ හා බැඳුනු විශාල සාධක ගණනාවක් ඇති බවත් ජනාධිපතිවරයා පවසයි.
යළි කෙදිනකවත් ශ්‍රී ලංකාවේ එවැනි අර්බුදයක් ඇති නොවන ලෙස රට ගොඩනඟන බවට ජනතාවට සහතික වන බව ද මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ කඩවත සිට මීරිගම දක්වා වූ කොටසේ යළි ඉදිකිරීම් ආරම්භ කිරීමේ සමාරම්භක උත්සවයට එක්වෙමින් ජනාධිපතිවරයා කියා සිටියේය.
ඉදිකිරීම්වලින් පමණක් රටක ආර්ථික ස්ථාවරභාවය නිර්මාණය නොවන බවත් පැති ගණනාවකින් එය තහවුරු කරමින් සිටින බවත් ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.
එමෙන්ම සමස්ත ආර්ථිකය සහ ජන ජීවිතය විශාල කඩා වැටීමකට ලක්ව තිබු මොහොතක 2026 අයවැය තුළින් ආර්ථික අර්බුදය අවසන් කිරීමට සැලසුම් කරන බව ද ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.
මහජන මුදල් සතයක් හොරකම් නොකරන දේශපාලන අධිකාරියක් මේ වනවිට ඇති කර ඇති බවත් තැන තැන පරණ ඇබ්බැහිවලට ලොල්වූ පුද්ගලයින් ඇති බවට හඳුනාගෙන ඇතැයි ද ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියේය.
“පරණ ඇබ්බැහිවලට ලොල්වු රාජ්‍ය යාන්ත්‍රණයේ ඇතැම් පුද්ගලයින් සහ සමහර තැන් අපි හඳුනාගෙන තියෙනවා. අපි නැවත නැවත කියන්නේ අලුත් දේශපාලනයට අනුව හැඩගැසෙන්න අවස්ථාව තියෙනවා. එසේ නොමැති නම් ඔවුන්ට දාලා යන්න පුළුවන්. දාලා යන්නේ නැත්නම් ඔවුන්ව අපි අයින් කරනවා. අපිට අවශ්‍යයි මහජනයාගේ සෑම රුපියලකටම ගරු කරන සාංගික දේපොළක් වගේ ආරක්ෂා කරන රාජ්‍ය සේවයක් අපිට අවශ්‍යයි.”
2026 වසරේ දී රු කෝටි 11,000ක් රාජ්‍ය සේවක වැටුප් වැඩිවීමට වෙන්කර ඇති බවත්, 2027 වන විට රාජ්‍ය සේවයේ වැඩි වූ වැටුප් ගෙවීමට පමණක් රු කෝටි 33,000ක් වැය කරන බවත් පැවසු ජනාධිපතිවරයා එය රාජ්‍ය අයවැය ලේඛනයේ විශාල මුදලක් බවත් එයට සරිසරන සේවාවක් ලබාදීම රාජ්‍ය සේවකයාගේ වගකීමක් බවත් පැවසීය.


0 Comments