දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවාව හරියට දෙන්න, බැරි නම් යන්න - බිමල් රත්නායක


දුම්රිය සේවාව නිසි පරිදි ක්‍රියාත්මක කිරීමට නොහැකි නිලධාරීන්ට සේවයෙන් ඉවත් වී යා හැකි බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක පවසනවා.

දුම්රිය නඩත්තු සේවා නිසි ප්‍රමිතියෙන් යුතුව කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අපොහොසත් වී ඇති බවයි ඔහු සඳහන් කර සිටියේ.

කළුතර දිස්ත්‍රික්කය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු ප්‍රවාහන ක්ෂේත්‍රයට සම්බන්ධ රාජ්‍ය නිලධාරීන් සමඟ කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය නව ශ්‍රවණාගාරයේදී පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

සමහර දුම්රියවල කවුළු වැසිය නොහැකි බවත්, දුම්රිය මැදිරි තුළ විදුලි පංකා ක්‍රියාත්මක තත්ත්වයේ නොමැති බවත්, කාර්යාල දුම්රියවල වැසිකිළිවල ජලය නොමැති බවට ද චෝදනා එල්ල වී ඇති බවයි අමාත්‍යවරයා එහිදී පවසා සිටියේ.

මාසයක් තුළ අදාළ දුම්රිය නඩත්තු කටයුතු සිදුකරන ලෙස ඇමතිවරයා විසින් නිලධාරින්ට දැනුම් දුන් අතර, එහිදී වැසිකිළි, ජනෙල් කවුළු සහ විදුලි පංකා යන සියල්ල අලුත්වැඩියා කළ යුතු බවයි ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

Post a Comment

0 Comments